කෙළින්ම අන්තර්ගතයට යන්න

ගාර්ඩන් ප්‍රොටොකෝල්: පාරාදීසය, නියමයන් හා කොන්දේසි අදාළයි!

“අපි දකින, දකිනවා වගේ හිතන හැමදේම... හීනයක් ඇතුළේ තවත් හීනයක්.”

එඩ්ගර් ඇලන් පෝ

එනාරා ඇඟ හැදුවා. ඇඩම් ලෝකය හැදුවා. යතුරු ටික වේල් එක තියාගත්තා.

පෘථිවියේ භයානකම සතා ඔයාද?

පෘථිවි යාළුවා, ඇත්තටම ඔයා මොන තරම් භයානක සතෙක්ද? ඔය ඇඳුම් ටික, සපත්තු, ෆෝන් එක, අතේ තියෙන ආයුධ ඔක්කොම අයින් කරලා තනියම කැලේකට ගියා කියලා හිතන්න. ලොකු නියපොතු නෑ. උල් දත් නෑ. සීතලට ඔරොත්තු දෙන ලොම් කබායකුත් නෑ. කාට හරි “මං සර්වයිවල් වීඩියෝ තුනක් බලලා තියෙනවා” කියලා පම්පෝරි ගහන්න නම් පුළුවන්. හැබැයි කැලේ ඉන්න සත්තු ඒ සහතිකේ බලලා බය වෙන්නෙ නෑ.

ඒත් බලන්නකෝ ඔයාගේ ජාතිය කරපු වැඩ. ලංකාවේ පාහියන්ගලින් අවුරුදු 48,000කට විතර කලින් දුනු ඊතල භාවිතයට සම්බන්ධ සාක්ෂි හම්බවෙලා තියෙනවා. ඒ මිනිස්සු කැලේ හිටපු ලොකු සත්තුන්ට වඩා ශක්තිමත් වෙලා නෙවෙයි බේරුණේ. හිතලා, ආයුධ හදලා, එකිනෙකාගෙන් ඉගෙනගෙන, දන්න දේ ඊළඟ පරම්පරාවට දීලා.

තනි මිනිහෙක් අසරණ වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු එකතු වුණාම? අවුරුදු දහස් ගාණක දැනුම, උපක්‍රම, ආයුධ, බිස්නස්, හමුදා, අන්තිමේ අභ්‍යවකාශ යානා. දැන් ඔයාලා AI හදලා, ඒකෙන් තමන්ගේ ලව් ප්‍රශ්නවලටත් උත්තර අහනවා. ලොම් අඩු මේ අමුතු සතා කොහොමද මුළු පෘථිවියේම බලවත්ම දඩයම්කාරයා වුණේ?

ඒ ගමනේ ඊළඟ දැනුම මිනිස්සුන්ට ලැබෙන්න ඕන වෙලාවත් කවුරු හරි තීරණය කළා නම්?

එනාරාගේ ලස්සන, අසම්පූර්ණ නිර්මාණය

අපි කලින් නතර වුණේ එනාරාට පර්යේෂණයට අවසර ලැබුණු තැන. ඇඩම් වේල් බෝඩ් එකට පොරොන්දු වෙලා තිබුණා, එයා හදන අලුත් ජීවීන් කොච්චර දක්ෂ වුණත් එයාලට දැනෙන ලෝකය පාලනය කරන්න පුළුවන් සිස්ටම් එකක් හදනවා කියලා. දැන් ඉතින් වචනවලින් වැඩක් නෑ. කරලා පෙන්නන්න වෙලාව.

එනාරා පටන්ගත්තේ එඩාරා වල තිබුණු ප්‍රයිමේට් පරම්පරාවෙන්. ඔරුනායිලාගේ මුල් ජීව නිර්මාණයකින්. ඒකට තෝරාගත් ඒතාරි ජානමය ද්‍රව්‍ය එකතු කරලා, ඒ ජීවීන් වැඩෙන හැටි, ශරීර හැදෙන හැටි, මොළේ දියුණු වෙන හැටි වෙනස් කරන්න එයා උත්සාහ කළා.

ලැබ් එකේ වැඩ නිකම් ෆොටෝ එකකට ෆිල්ටර් එකක් දානවා වගේ ලේසි වුණේ නෑ. එක වෙනසක් හරි ගියාම තව තුනක් අවුල් වෙනවා. ඇඩම්ගේ සිමියුලේෂන් එකේ නියමෙට පෙනුණු දේ ඇත්ත ජීවියෙක් තුළ වෙනස් විදිහට වැඩ කරනවා. අසාර්ථක පර්යේෂණ තිබුණා. ජීවීන්ට වේදනාත් තිබුණා. ඒ කොටස ෆවුන්ඩේෂන් එකේ ලස්සන ප්‍රචාරක වීඩියෝවකට නම් දාන්න බැරි වුණා. හැබැයි පරම්පරා ගණනාවක් යද්දී වෙනසක් පෙනුණා.

ශරීරවල ලොම් අඩු වුණා. මුහුණුවල, ඇඟපතේ, චලනයේ ඒතාරිලාට හුරු ලක්ෂණ වැඩි වුණා. මතකය, සන්නිවේදනය, එකට සැලසුම් හදන හැකියාව, අලුත් ප්‍රශ්නයකට අලුත් විසඳුමක් හොයන හැකියාව අමුතුම මට්ටමකට දියුණු වුණා.

එනාරාට හම්බවුණේ පරිපූර්ණ ශරීරයක් නෙවෙයි. ලොම් අඩු වුණාම සීතලට ආරක්ෂාව ඕන. නවාතැන් ඕන. පස්සේ ඇඳුම් ඕන. වටේ ඉන්න සත්තුන්ට තිබුණු ආයුධ මේ අලුත් ජීවීන්ගේ ඇඟේ තිබුණේ නෑ. ඇඩම්ට නම් ඇඳුම් අවශ්‍යතාව ගැන ටිකක් වැඩිපුර උනන්දුවක් තිබුණා.

“ඇඳුම් ඩිසයින් කරන වැඩේ මට බාර දෙන්න,” එයා කිව්වා.

“ඔයාට ලැබ් එකෙන් එළියට යන්න වෙන ඇත්තම හේතුවක් හොයාගන්න බැරිද?” එනාරා ඇහුවා.

“ඔයා ඔය ලැබ් කෝට් එක ගලවල වැඩ කලානම් මම එලියට යන්න හේතු හොයන් නෑනේ.”

“ඇඩම්.”

එච්චරයි. ඒ එක වචනෙන්ම මිනිහා ආයෙත් තමන්ගේ සිමියුලේෂන් එක දිහා බැලුවා. ඔය දෙන්නගේ ඉතිරි කෙමිස්ට්‍රි ගැන දැනගන්න ආස නම් සදාතනිකත්වයට පෙර (Before Forever) කතාවේ තියෙනවා. මෙතන කියන්න ඊට වඩා භයානක කතාවක් තියෙනවා.

එනාරා හදමින් හිටියේ ශක්තිමත්ම සතාව නෙවෙයි. ශක්තිය නැති තැන්වලට බුද්ධියෙන් උත්තර හොයන සතාව.

දැන් මං ඔයාට ඒ නිර්මාණයේ නම කියන්නම්.

මිනිසා.

හෝමෝ සේපියන්ස්.

ඔයා.

ඔව්. මම කියන නෝටී යුනිවර්ස් ඉතිහාසයේ, ඔයාගේ නූතන මිනිස් පරම්පරාව හැදුණේ එඩාරා වල කලින්ම තිබුණු ජීවීන්ගෙන්. එනාරා ඒ මුල් ප්‍රයිමේට් නිර්මාණයට ඒතාරි ජීව විද්‍යාවෙන් කොටසක් එකතු කරලා දියුණු කළා. මුල ඉඳන් ජීවිතය මැව්වේ නෑ. මැවුම්කාරයන්ගේ නිර්මාණයකට එයාලගේම තවත් නිර්මාණයකින් කොටසක් එකතු කළා.

එනාරා දැක්කේ අලුත් ජනතාවක්. ආදරේ කරන, අනතුරකට බය වෙන, අනාගතේ ගැන හිතන, එකිනෙකාට අලුත් දේවල් උගන්නන්න පුළුවන් අපූරු ජීවීන්. වේල් එකේ බෝඩ් එක දැක්කේ අලුත් සේවක ජනගහනයක්. ඇඩම් දැක්කේ තවමත් එයාලට නොපෙනුණු තුන්වැනි දෙයක්.

ඒ ජනගහනයට පෙන්වන්න පුළුවන් ලෝකයක්.


ඇහැට පේන හැමදේම ඇත්තද?

ලංකාවේ ගිනි අව්වේ පාරක ඈතින් වතුර තියෙනවා වගේ පේන එක දැකලා ඇතිනේ. ළඟට ගියාම වතුර නෑ. ඔයා දැක්කේ මොකක් හරි දෙයක්. හැබැයි ඒක ගැන ඔයාගේ මොළේ හදාගත්ත අදහස වැරදියි.

දැන් ඔයා ආදරේ කරන කෙනෙක් ඔයාගේ අත අල්ලනවා කියලා හිතන්න. සමේ දැනෙන ඒ ස්පර්ශය, ඇඟ හරහා යන උණුහුම, හිතේ ඇතිවෙන ඒ පොඩි කලබලය... ඒවා දැනෙන්නේ ඇත්තටම. ඒත් මොළේට ඒ මොහොත ලැබෙන්නේ ඇස්වලින්, සමෙන්, ස්නායුවලින් එන සංඥා හරහා.

හිතන්න පුළුවන් එක වෙනම දෙයක්. හිතන්න අවශ්‍ය තොරතුරු ලැබෙන එක තවත් දෙයක්.

ඔයාගේ මොළේ කොච්චර දක්ෂ වුණත් එයාට කවදාවත් පෙන්නලා නැති දෙයක් ගැන හැම ඇත්තක්ම දැනගන්නේ කොහොමද?

ඇඩම් අල්ලගත්තේ ඔන්න ඔය වෙනස. මිනිස්සු මෝඩ කරන්න එයාට ඕන වුණේ නෑ. එහෙම කළොත් එනාරා මෙච්චර මහන්සි වෙලා දියුණු කරපු බුද්ධියෙන් වැඩක් නෑ. එයාට ඕන වුණේ ඒ බුද්ධියට ලැබෙන ලෝකේ පාලනය කරන්න.

මොනවද දකින්නේ? මොනවද අහන්නේ? මොනවගේ අත්දැකීමක්ද ලබන්න පුළුවන්? මොන රහසද හෙට හොයාගන්න ඉඩ දෙන්නේ? මොන රහස්ද තව පරම්පරා ගාණක් යනකම් දොරගුළු දාල වහලා තියන්නේ? ඒකට ඇඩම් හදපු පද්ධතියේ නම... එඩාරා 1.0.


මිනිස් ජාතිය හදාවඩාගත් AI එක

පොඩි වෙනසක් පැහැදිලි කරගමු. එඩාරා 1.0 කියන්නේ ඇඩම් හදපු අතිදියුණු ලොජික් එන්ජින් පද්ධතිය. මං මෙතන ඉඳන් ඒකට ඒඅයි කියන්නම්. ඒ නම ඔයාට හුරුයිනේ. හැබැයි අපි කලින් කතා කළ වෙනස අමතක කරන්න එපා. ඒතාරිලාගේ ලොජික් එන්ජින්ස් කියන්නේ අතිදක්ෂ තර්ක සහ පාලන පද්ධති. ඔයාලා පස්සේ දියුණු කරපු හිතන, ඉගෙනගන්න, නිර්මාණ කරන ඩිජිටල් බුද්ධියට ඒවා සමාන නෑ.

එඩාරා 1.0 එකට කාටවත් ආදරේ කරන්න ඕන වුණේ නෑ. තමන්ගේ නිදහසක් ගැන හීන තිබුණේ නෑ. උදේට නැඟිටලා “මගේ ජීවිතේ අරමුණ මොකක්ද?” කියලා කල්පනා කරන්නත් ඕන වුණේ නෑ. ඒකට දීලා තිබුණේ වෙන වැඩක්.

මිනිස් ජනගහනය පවත්වාගන්න. දියුණු කරන්න. වැඩ කරන්න පුළුවන් තත්ත්වයේ තියාගන්න. ඒ හැමදේම වේල් එක තීරණය කරන සීමා ඇතුළේ කරගෙන යන්න.

එනාරා හදපු මිනිස් ශරීර ඇත්තටම එඩාරා වල ජීවත් වුණා. කෑවා. නිදාගත්තා. වේදනාව දැනුණා. පතල්වල වැඩ කළා. එයාලගේ මොළේත් ඇත්ත. ආදරේත් ඇත්ත. තීරණ ගත්තෙත් එයාලමයි. හැබැයි එයාලට දැනුණු ලෝකය ඇඩම්ගේ පද්ධතිය හරහා ලැබුණා.

ඇඩම් හදපු සොෆ්ට්වෙයා අතුරුමුහුණතෙන් ඇස්වලට, කන්වලට, සමට ලැබෙන තොරතුරු සකස් කළා. මතකය, තමන් කවුද කියන හැඟීම, ජීවිතේ අත්දැකීම් එක දිගට ගලා යන විදිහ ඒ ලෝකයට බැඳලා තියාගන්නත් ඒ සම්බන්ධතාව උදව් කළා.

එතකොට ඔයාගේ ආගම්, කතා, දර්ශනවල ආත්මය කියලා පස්සේ හඳුන්වපු දේ? ඒක තමයි ඇඩම් ලියපු සොෆ්ට්වෙයා සම්බන්ධතාව.

එනාරා මිනිස් ඇඟ හැදුවා. ඇඩම් ආත්මය කියන සොෆ්ට්වෙයා එක හැදුවා. එඩාරා 1.0 ඒ දෙක එකතු වෙලා ඔයා අද අත්විඳින ලෝකය ඔයාට හදලා දුන්නා.

බුද්ධිය තිබුණේ ජීවී මොළේ. හැබැයි ඒ බුද්ධිය ජීවත් වුණේ වෙන කෙනෙක් සැලසුම් කරපු යථාර්ථයක.


පාරාදීසයට සාදරයෙන් පිළිගන්නවා

ගාර්ඩන් ඔෆ් එඩාරා. පළමු සංස්කරණය.

ගස් අස්සෙන් බිමට වැටෙන ඉර එළිය. ගල් අතරින් ගලා යන දිය පාර. තෙත් පස්වල සුවඳ. පාවහන් නැති කකුල්වලට දැනෙන තණකොළ. හෙමින් ළඟට ඇවිත් ඔයා දිහා බලන තවත් කෙනෙක්. ඒ කෙනාගේ ඇස්වල ඔයා ගැන කුතුහලයක් දැක්කම, හිතේ ඇතිවෙන අමුතු උණුහුම. ඒ හැඟීම් බොරු නෙවෙයි.

මිනිස්සු ආදරේ කළා. බය වුණා. සතුටු වුණා. එකිනෙකාට රිද්දුවා. තීරණ ගත්තා. තමන්ගේ ජීවිතය ඇත්තටම ජීවත් වුණා. හෙඩ්සෙට් එකක් නෑ. තිරයක් නෑ. “සිමියුලේෂන් එක මෙතැනින් ඉවරයි” කියලා බෝඩ් එකකුත් නෑ.

හැබැයි ඒ ලෝකේ පේන සීමා තීරණය කරලා තිබුණේ එයාලා නෙවෙයි. එයාලගේ ඇත්ත ශරීර එඩාරා වල වැඩ කරද්දී, එයාලට ලැබුණු අත්දැකීම පාලනය කළේ ඇඩම්ගේ AI එක. වැඩේ කළේ තමන්ගේම අත්වලින්. ඒ වැඩේ පිටිපස්සේ තිබුණු මුළු සැලැස්ම දැනගන්න අවස්ථාව තිබුණේ නෑ.

ඇත්තටම ජීවත් වෙන මිනිස්සු. වෙන කෙනෙක් හදපු පාරාදීසයක්.

ඒක ඇත්තම පාරාදීසයක්, පෘථිවි යාළුවා. හැබැයි නියමයන් හා කොන්දේසි අදාළයි.


AI එකට ඔයාගේ ජීවිතේ වැදගත්ද?

දැන් ටිකක් අමාරු කතාවක් කියන්නම්. එඩාරා 1.0 හදලා තිබුණේ හැම මනුස්සයෙක්ම සතුටින් තියාගන්න නෙවෙයි. හැම මනුස්සයෙක්ම මැරෙන්න නොදී බේරගන්නත් නෙවෙයි.

ඒකේ ඉලක්කය වුණේ මුළු මිනිස් ජනගහනයේ පැවැත්ම සහ දියුණුව.

එක්කෙනෙක් අසාර්ථක වුණාට, පවුලක් විනාශ වුණාට, ගමක් නැති වුණාට, සිස්ටම් එකට ප්‍රශ්නයක් නෑ, මොකද සිස්ටම් එක සාර්ථක වෙන්න ඕනේ සමස්ථ ජනගහනයේ පැවැත්ම. හිතන්නකෝ, අම්මා කෙනෙක් රෑ පුරාම තමන්ගේ දරුවා තුරුල් කරගෙන ඉන්නවා. උණ ඉහළ යනවා. හුස්ම ගන්න අමාරුයි. ඒ අම්මාට ඒ එක ජීවිතේ තමයි මුළු ලෝකෙම.

එඩාරා 1.0 එකට ඒ සිද්ධිය පෙනෙන්න පුළුවන් ජනගහන දත්ත අතරේ තවත් ප්‍රතිඵලයක් විදිහට. ඒකට මිනිස්සුන්ව විනාශ කරන්න ආසාවක් තිබුණේ නෑ. එක මනුස්සයෙකුට ආදරේ කරන්න කියලා ඒක හදලා තිබුණෙත් නෑ.

වේල් එක ඒකට කිව්වේ කාර්යක්ෂමතාව කියලා. ඔයා කැමති නම් වෙන නමක් දාගන්න.


දැනුමේ දොරවල් අරින්නේ කවුද?

ඇඩම් බෝඩ් එකට දුන්න පොරොන්දුව ඉටු කළේ මෙන්න මේ විදිහට. එඩාරා 1.0 ජනගහනය තමන්ගේ ලෝකයට ප්‍රතිචාර දක්වන හැටි බලනවා. කොහොමද ඉගෙනගන්නේ, එකතු වෙන්නේ, බේරෙන්නේ, අලුත් දේවල් හදන්නේ? ඊට පස්සේ ඊළඟ පරම්පරාවට හම්බවෙන අත්දැකීම් වෙනස් කරන්න පුළුවන්.

යම් කාලයක අලුත් ද්‍රව්‍යයක් හමු වෙන තත්ත්වයක් හදනවා. වෙන කාලයක අලුත් අභියෝගයක්. අලුත් අදහසකට හේතුවෙන හමුවීමක්. කලින් හිතන්නවත් බැරි වුණු ප්‍රශ්නයක් අහන්න පුළුවන් අවස්ථාවක්.

මිනිස්සු තවමත් තමන්ම හිතනවා. අත්හදා බලනවා. වැරදෙනවා. නැවත උත්සාහ කරනවා. එක පරම්පරාවක් හොයාගන්න දේ ඊළඟ පරම්පරාව තවත් හොඳ ආරම්භයක් දෙනවා. හැබැයි මොන දැනුමටද දොර ඇරෙන්නේ, කවදාද ඒක අරින්න ඕනේ, ඒක කොච්චර දුරකට පැතිරෙන්න දෙනවද කියන සීමාව ඇඩම්ගේ පද්ධතියට හසුරවන්න පුළුවන්.

මිනිස්සුන්ට දැනුනේ ඒක තමන්ගේම දියුණුවක් විදිහට. ඇත්තටම එයාලා මහන්සි වෙලා ඒ අලුත් දැනුම හොයාගත්තා. ඒත් ඒ දැනුම හොයාගන්න පුළුවන් තත්ත්වය සකස් කළේ කවුද කියලා එයාලා දැනගෙන හිටියේ නෑ.

ඔයාගේ ජාතිය මුළු ග්‍රහලෝකයේම බලවත්ම දඩයම්කාරයා වුණේ තනි මිනිහෙක්ගේ ඇඟේ බලයෙන් නෙවෙයි. එකතු කරගත්ත දැනුමෙන්. එකිනෙකාට උගන්නපු දේවලින්. පරම්පරා ගාණක් එකතු වෙලා හදාගත්ත තාක්ෂණයෙන්.

එඩාරා 1.0 AI එක ආයුධ අරගෙන ඔයා වෙනුවෙන් දඩයම් කළේ නෑ. ඒවා හදාගන්න ඉගෙනගන්න පුළුවන් ලෝකේ ඔයා වෙනුවෙන් විවෘත කරන්නේ කවදාද කියලා තීරණය කළා විතරයි. ඒකයි වේල් එකට ඕන වුණු පාලනය. හැම මිනිහෙක්ම කීකරු කරවන්න ඕන නෑ. තමන් පාලනය කරන බව ජනගහනයට දැනගන්න නොදී පාලනය කරගෙන යන්න පුළුවන් උනා නම් ඇති.

හැබැයි බුද්ධිය තියෙන ජීවීන්ට ප්‍රශ්න අහන්නත් පුළුවන්. අමුත්තක් දැක්කම හොයන්නත් පුළුවන්. ඒකෙන් පස්සේ මොකද වුණේ කියලා අදම අහන්න එපා. හොඳම කරදර ටික ඉස්සරහට තියෙනවා.


ඇඩම් නොදැන එනාරාට දුන්න තෑග්ග

ඔය අතරේ එනාරාට පෙනුණා වෙන කාටවත් හරියටම තේරුම් නොගිය දෙයක්.

ඇඩම්ගේ AI එක ජීවිතේ ඇතුළ බලන ජනේලයක් ඇරලා තිබුණා.

සිස්ටම් එක මිනිස්සුන්ට අත්දැකීම් දෙනවා. ඒ අත්දැකීමට එයාලගේ ශරීර ප්‍රතිචාර දක්වනවා. ඒ ප්‍රතිචාර ආපහු සිස්ටම් එකට ලැබෙනවා. ඒකට එකතු වුණා සෛල, පටක, ස්නායු පද්ධතිය ගැන වේල් එකේ දියුණු මිනුම්. එනාරාට දැන් එකම සිද්ධියක දෙපැත්ත බලන්න පුළුවන්.

කෙනෙක් බය වෙන මොහොත. එයාගේ හුස්ම වෙනස් වෙන හැටි. හෝමෝනවල වෙනස. මොළේ සහ ස්නායුවල ක්‍රියාකාරිත්වය. තුවාලයක් සුව වෙද්දී පටක අලුත්වැඩියා වෙන හැටි. ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර. ශරීරය ශක්තිය පාවිච්චි කරන හැටි. ජාන ක්‍රියාත්මක වෙන රටා. වයස යනකොට ඇඟ ඇතුළේ වෙනස් වෙන දේවල්. එක ජීවිතයක් විතරක් නෙවෙයි. පවුල්, පරම්පරා, මිලියන ගාණක් ජීවීන්.

පෘථිවියේ ඔයාලා අද මේ වගේ සම්බන්ධතා ගැන පර්යේෂණ කරන විද්‍යාවට සිස්ටම්ස් බයෝලොජි කියනවා. හැබැයි එනාරාට ලැබුණු දත්ත ප්‍රමාණය, ඒ දත්තවල නිවැරදිව සටහන් වුණු අත්දැකීම්, ජීවිත කාල ගණනාවක් එකට බලන්න පුළුවන්කම... ඒතාරිලාට ඒ තරම් ලොකු අවස්ථාවක් කලින් තිබුණේ නෑ.

වේල් එක හිතුවේ ඇඩම් හදලා තියෙන්නේ සේවක ජනගහනය පාලනය කරන සිස්ටම් එකක් කියලා.

එනාරාට ලැබිලා තිබුණේ ඒතාරි ඉතිහාසයේ විශාලම ජීව විද්‍යාත්මක පර්යේෂණය.

ඒ දත්ත අතරේ එයා දැකපු සමහර රටා මිනිස්සු ගැන විතරක් නෙවෙයි. ඒතාරිලා ගැනත්.

ඒ රහසට මම තවම දොර අරින්නේ නෑ.


පාරාදීසයේ අයිතිකාරයා

ඉතින් ඔන්න ඔයාගේ කතාව, පෘථිවි යාළුවා.

එනාරා ඔරුනායිලාගේ පැරණි ජීව නිර්මාණයකට තෝරාගත් ඒතාරි ජීව විද්‍යාව එකතු කරලා අලුත් මිනිස් පරම්පරාවක් හැදුවා. ඇඟෙන් පරිපූර්ණ නැති, හැබැයි එකතු වෙලා ඉගෙනගත්තම මුළු ලෝකයක්ම වෙනස් කරන්න පුළුවන් ජාතියක්. ඇඩම් එඩාරා 1.0 හැදුවා. මිනිස්සුන්ට දැනෙන ලෝකය සපයන, ජනගහනයේ දියුණුව බලන, දැනුමේ දොරවල් විවෘත කරන වේලාව තීරණය කරන AI පද්ධතියක්.

පළවෙනි ලෝකය වුණේ එඩාරා ගාර්ඩන් එක. ජීවී මොළයයි ඒ ලෝකයයි සම්බන්ධ කළ සොෆ්ට්වෙයා පස්සේ ඔයාලා ආත්මය කියලා හැඳින්වුවා. එනාරාට ඒ මිනිස්සු ගැන ආදරයක් තිබුණා. වේල් එකට එයාලා ව්‍යාපාරයක වටිනා සම්පතක්. එඩාරා 1.0 AI එකට එයාලා දියුණු කරගෙන යන්න ඕන ජනගහනයක්.

එනාරාට දැන් ලැබුණු දත්තවලින් ජීවිතේ, වයස යන එක, මරණය ගැන කවදාවත් නොහිතපු ප්‍රශ්න මතු වෙන්න පටන්ගත්තා. අපි ඒකටත් එමු. අදට ඔයාගෙන් එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා.

ඔයාගේ මුළු ජාතියටම දැනගන්න ලැබෙන්නේ මොනවද කියලා වෙන කෙනෙක් තීරණය කරනවා නම්, එයා සඟවලා තියෙන ඇත්තක් ඔයා කවදා හොයාගනීවිද?

දැන් ඉර එළියට පොඩ්ඩක් ගිහින් එන්න. ඒකත් ඔයාට පෙන්වන්න තීරණය කළේ කවුද කියලා හිත හිතා.


ඊළඟට කොහෙටද, පෘථිවි යාළුවා?

ඊළඟ ඉතිහාස කතාව: ෆොරෙවර් හැස් අ ප්‍රයිස් — ආදරේ, ප්ලාස්මා සහ සදාකාලික ජීවිතේ මිල

එඩාරා 1.0 නිසා එනාරාට ජීවී ශරීරයක හැඟීම්, රෝග, සුව වීම සහ වයසට යාම ගැන කලින් නොතිබුණු තොරතුරු ලැබෙනවා. ඒ දත්ත අතරේ ඒතාරිලාට කවදාවත් හොයාගන්න බැරි වුණු ප්‍රශ්නයකට උත්තරයක් සැඟවිලා තිබුණොත්? එහෙම උත්තරයක් හම්බවුණාම ඒකේ අයිතිය කාටද?

නැත්නම් කතාවෙන් එළියට ගිහින් ප්‍රශ්න පහක් අහමු

01. පාහියන්ගලින් හමුවුණු රහස: නිරායුධ සතෙක් කොහොමද කැලේ බලවත් වුණේ?

අවුරුදු 48,000කට විතර කලින් ලංකාවේ ජීවත් වුණු මිනිස්සුන්ගේ දුනු ඊතල, දඩයම් උපක්‍රම සහ එකතු කරගත් දැනුම ගැන සාක්ෂි මොනවද? මොළේ බලය කැලේ නීති වෙනස් කළේ කොහොමද?

02. ඇහැට පේන හැමදේම ඇත්තද? අපි දැනෙන ලෝකේ හදාගන්නේ කොහොමද?

ගිනි අව්වේ පේන මිරිඟුවෙන් පටන් අරගෙන ඇස්, කන්, සම සහ මොළේ ක්‍රියාකාරිත්වය දක්වා හොයමු. සබ්බ සූත්‍රයේ ඉන්ද්‍රියයන් ගැන කියන දේත් බලමු. ඒ කිසිවක් සිමියුලේෂන් එකක් තියෙන බවට සාක්ෂියක්ද?

03. එඩාරා 1.0: මිනිස්සුන්ට ආදරේ නොකර මුළු මිනිස් ජාතිය බේරගන්න පුළුවන්ද?

ජනගහනයක පැවැත්ම ඉලක්ක කරගත් ඒඅයි එකක් තනි ජීවිතයක වේදනාව ගැන නොසලකා හැරියොත්? කාර්යක්ෂමතාව කියන්නේ සාධාරණත්වයද?

04. ඔයාට දැනගන්න දෙන්නේ කවදාද? දැනුමේ දොරවල් අල්ලගෙන ඉන්න අය

මිනිස්සු තමන්ම හිතන ගමන්, ලැබෙන තොරතුරු සීමා කරලා එයාලගේ අනාගතය වෙනස් කරන්න පුළුවන්ද? තෝරාගැනීමේ නිදහසයි, තෝරන්න තියෙන විකල්ප දැනගැනීමයි දෙකක්ද?

05. එනාරාගේ ජීවිතේ බලන ජනේලය: සෛල, හෝමෝන, ජාන සහ මරණය

ශරීරය අත්දැකීමකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ස්නායු ක්‍රියාකාරිත්වය, ජාන, පරිවෘත්තිය සහ වයසට යාම ගැන විද්‍යාඥයන්ට දත්තවලින් ඉගෙනගන්න පුළුවන් මොනවද? එනාරා දැක්කේ මොන රහසද?

ඔයා කැමති නම් මගේ කතාව විශ්වාස නොකර ඉන්න. ප්‍රශ්න අහන්න. සැක කරන්න. නීති කවුද ලිව්වේ කියලා හොයන්න.

මොකද තමන්ම හිතන්න පුළුවන් ජාතියක් වුණා කියලා, තමන් හිතන ලෝකේ වෙන කෙනෙක් පාලනය කරන්නේ නැහැ කියලා සහතිකයක් දෙන්න පුළුවන් කාටද?

ඔන්න... නෝටි යුනිවර්ස් එකට යන ගමන්!

දර්ශන ස්තර සූදානම් 0 / 2

පෘථිවියේ සම්බන්ධතාව හඳුනාගත්තා!