මැවුම්කාරයාගේ පැටලැවිල්ල: අවසර නැතුව දෙවියන්ගේ වැඩ කරන්න ගියාම
“අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ”
උත්පත්ති 1:26 | පැරණි අනුවාදයෙන්
වේල් එකට ඕන වුණේ වැඩ කරන, ඉගෙනගන්න, වෙනස් වෙන ලෝකෙට හැඩගැහෙන ජීවීන්. එනාරා දෙවිවරුන්ගේ මුල් නිර්මාණවලට අත තියන්න තීරණය කළා. ඇඩම් ඒ ජීවීන්ගේ ලෝකෙටම අත තියන්න ලෑස්ති වුණා.
එඩාරා බලා ගිය ඇඩම්වයි එනාරාවයි මතකයිනේ, පෘථිවි යාළුවා?
ඇඩම් වේල්. සල්ලි, මොළේ, කඩවසම් හිනාව. තමන් කැමති දේ ලබාගන්න ඒ තුනෙන් මොකක්ද හරියටම පාවිච්චි කරන්න ඕනේ කියලා හොඳට දන්න කොල්ලෙක්.
එනාරා? එයාට ඔය ඇඩම්ගේ කටකාර ට්‍රික්ස් වැඩ කළේ නෑ. එයාට ඇඩම්ගේ ඇස් දෙක දිහා බලන් ඉන්නවට වඩා, ලැබ් එකේ අමුතු ජීවියෙක්ගේ වර්ධනය ගැන පැය ගාණක් හොයන එක හරිම රසවත් වැඩක්. එකෙන් උනේ ඇඩම් එනාරට තවත් ආකර්ෂණය උන එක, කොහොමත් කොල්ලෝ කැමති ටිකක් තමන්ව ගණන් නොගන්න කෙල්ලෝ පස්සෙ යන්නනේ, නැද්ද යාලු.
ඒ දෙන්නගේ රණ්ඩු, පාටි, ආදරේ සහ නිල වාර්තාවලට දාන්න බැරි තරම් පෞද්ගලික සිද්ධි ගැන දැනගන්න ඕන නම් සදාතනිකත්වයට පෙර (Before Forever) කියවන්න. අද මං කියන්නේ ඒ දෙන්නා රෑට රෑට කටත් හොරෙන් කරපු දේවල් ගැන නෙවෙයි. එයාලා මහ දවල් ලැබ් එකේ කරන්න ගිය අපරාදේ ගැන.
හොඳයි. දැන් ඒ අපරාදේට සල්ලි දුන්න කම්පැනිය ගැන කතා කරමු.
එකම ප්‍රශ්නෙට ආයෙ ආයෙ සල්ලි ගෙවන කම්පැනියක්
වේල්ගේ පතල්වල එඩාරියන්ලා වැඩ කළා. වැඩ හොඳට ඉගෙනගෙන, තමන්ට පුළුවන් පුරුදු විදිහට කරගෙන ගියා. ඒත් එඩාරා කියන්නේ බෝඩ් මීටින් එකක හදපු ප්ලෑන් එකකට අනුව හැමදාම ඉන්න ග්‍රහලෝකයක් නෙවෙයි. කැණීම් කරනකොට පොළොව වෙනස් වෙනවා. වතුර පාර වෙනස් වෙනවා. ඊයේ ආරක්ෂිතව තිබුණු තැන අද අවදානම්. එඩාරියන්ලාට ඒ වෙනස තේරුම් ගන්න පුළුවන් වුණත්, කලින් අත්විඳලා නැති හැම තත්ත්වයකටම අලුත් විසඳුමක් හොයාගන්න තරම් දියුණු හැකියාවක් එයාලට තිබුණේ නෑ. ඉතින් විශේෂඥයෝ එනවා. අලුත් පරම්පරාවක් දියුණු කරනවා. වියදම් කරනවා. මාස ගාණකින් ආයෙත් අලුත් ප්‍රශ්නයක්.
හිතන්නකෝ, ඔයාගේ බිස්නස් එකේ ලාභෙන් භාගයක්ම යන්නේ තමන්ගේම සේවකයන්ට ඒ බිස්නස් එකේ වෙනස්කම් දරාගන්න උගන්නන්න නම්. කොච්චර ලස්සන බිස්නස් මොඩල් එකක්ද! විශේෂයෙන් ඒ බිල් ගෙවන්නේ වෙන කෙනෙක් නම්.
අවුල එඩාරියන්ලා ජීවීන් නොවුණු එක නෙවෙයි. ඒතාරිලා හදපු ජීවීන්, ඔරුනායිලාගේ නිර්මාණ තරම් දියුණු නොවුණු එක.
වේල් එකට ඕන වුණේ තව ටිකක් හොඳ සේවකයෝ නෙවෙයි. තමන්ම හිතන, අලුත් තත්ත්වයට හැඩගැහෙන, ඒත් ලොක්කන්ට කරදරයක් නොවන ජනගහනයක්.
බෝඩ් එකේ කට්ටියට ඒක ඉල්ලන්න ලේසියි. මොකද එයාලගේන් එකෙක් ඇවිත් අලුත් ජීවිතයක් නිර්මාණය කරන්නේ නැනේ, ඔයාල දන්නවනේ බොසාලා සීතල කාමර වලට වෙලා, පුටු රත් කර කර ගන්න තීරණ. කියන්න හරි ලෙසයි වැඩේ කරන එකානේ අමාරුව දන්නේ. නැද්ද යාළු!
එනාරා හොයාගත්තේ අලුත් ඩිසයින් එකක් නෙවෙයි
එක දවසක් එනාරා අර ප්‍රශ්නෙම අනිත් පැත්තට හැරෙව්වා.
“අපි තාමත් අපේම ඩිසයින් එක හද හද ඉන්නේ ඇයි?”
එඩාරා වල ජීවත් වෙන අනිත් ජීවීන් දිහා බලන්න. දඩයම් කරනවා. බේරෙනවා. එකිනෙකාගෙන් ඉගෙනගන්නවා. පරිසරය වෙනස් වෙද්දී පරම්පරා ගණනාවක් තිස්සේ ජීවිතේ ගෙනියන්න විවිධ ක්‍රම හොයාගෙන තියෙනවා.
ඒ ජීව ලෝකය ඔරුනායිලාගේ වැඩක්.
එඩාරා කියන්නේ, ජීවයේ රහස්වලින් වැදගත්ම කොටසක් ඒතාරිලාට නොදී තියාගත්ත මැවුම්කාරයන්ගේ මුල් නිර්මාණ වලින් පිරිච්ච තැනක්. එනාරාට ඒ රහස් ඔක්කොම තේරුම් ගන්න බැරි වුණත්. ඔරුනායිලා හදපු ජීව ලෝකේ එයාගේ ඇස් ඉස්සරහම තිබුණා. මුල්ම ඩිසයින් එක තේරුම් නොගෙන, තමන්ගේ අසම්පූර්ණ කොපිය හැමදාම අලුත්වැඩියා කරන්නේ මොන මඟුලකටද?
වේල් එකේ විධායකයෝ එනාරාට පර්යේෂණයක් බාර දුන්නා. එයා ගිහින් බැලුවේ, එයාලගේ පේටන්ට් එකක්වත් නැති ජීවීන් දිහා. අනිවාර්යයෙන්ම, ඒ අදහස බෝඩ් එකේ ඊගෝවට නම් සුපිරි ටොක්කක් අනින්න ඇති.
එයා තෝරගත්තේ දුර්වල සතෙක්
අධ්‍යයනය කරද්දී එනාරාගේ අවධානය නතර වුණේ ප්රයිමේට් පරම්පරාවක් ළඟ. අල්ලන්න පුළුවන් අත්. දුර හඳුනාගන්න ඇස්. හොඳ මතකයක්. සමාජ සම්බන්ධතා. අනිත් අය දිහා බලලා ඉගෙනගන්න හැකියාව. තව ටිකක් හිතන්න පටන්ගත්තොත් මොනවා කරයිද කියලා හරියටම කියන්න බැරි කුතුහලයක්.
ලංකාවේ රිළව් ගැන මිනිස්සු බණිනවා ඔයා අහලා ඇති. කඩේට පැනලා බඩු උස්සනවා කියලා. හැබැයි කණ්ඩායමක් ඇතුළේ එකිනෙකා හඳුනාගන්න, අවස්ථා මතක තියාගන්න, වෙනස් තත්ත්වයකදී හැසිරෙන්න ඒ සතුන්ට තියෙන හැකියාව දැක්කම, ඒක නිකම්ම දඟකාරකමක් නෙවෙයි කියලා තේරෙනවා.
එනාරා තෝරගත්තේ අද ලංකාවේ ඉන්න රිළවෙක් නෙවෙයි. එඩාරා වල එදා හිටපු පැරණි ප්රයිමේට් පරම්පරාවක්. ඒ සතුන්ට හොඳ දඩයම්කාරයෙක් වගේ නියපොතු නෑ. ඇඟ පුරා ආරක්ෂාවක් නෑ. තනි සතෙක් විදිහට බලද්දී හරිම සාමාන්‍යයි.
හැබැයි එනාරා බැලුවේ ඒ සතා දැන් මොකක්ද කියලා නෙවෙයි. එයාට අනාගතේදී මොකෙක් වෙන්න පුළුවන්ද කියලා.
එඩාරා වලට හුරු ශරීරයක් ලැබුණා. ඉතිරි ප්‍රශ්නෙ වුණේ ඒතාරි කෙනෙක්ගේ අදහස තේරුම් ගන්න පුළුවන් බුද්ධිය ඒකට එක්කරන්නේ කොහොමද කියන එක. එනාරා ඒකට උත්තරේ හෙව්වේ තමන්ගේම ශරීරයෙන්.
දෙවිවරුන්ගේ ඩිසයින් එකට තමන්ගෙන් ටිකක්
ඔයා හිතන්නකෝ, කෙනෙක්ට ඔයා කියන්න යන දේ කලින්ම තේරෙන්න ඕන. ඔයාගේ අරමුණ, උවමනාව, තීරණයක් ගන්නේ ඇයි කියන එක දැනෙන්න ඕන. එහෙම හිතක් හදන්න හොඳම ආදර්ශය මොකක්ද? ඔයා දන්න හොඳම බුද්ධිය. ඔයාගේම බුද්ධිය නේද?
එනාරා ඒතාරි කෙනෙක්. එයාගේම ජීව විද්‍යාත්මක සැලැස්මත් ඔරුනායිලාගේ නිර්මාණයක්. ඒ නිසා එයා ඉදිරිපත් කළේ අතිශය අවදානම් යෝජනාවක්.
එඩාරා වල තෝරගත්ත ප්රයිමේට් පරම්පරාවකට ඒතාරි ජානමය ද්‍රව්‍ය එකතු කරලා, ඒ ජීවීන්ගේ වර්ධනය වෙනස් කරන්න.
කොපි කරලා පේස්ට් කරන වැඩක් නෙවෙයි. එනාරාට ප්‍රතිඵලේ කලින්ම සහතික කරන්න බෑ. සමහර පර්යේෂණ අසාර්ථක වෙයි. සමහර වෙනස්කම් එයා හිතපු දේට වඩා වෙනස් වෙයි. ඒක තමයි තමන්ටත් සම්පූර්ණයෙන් නොතේරෙන නිර්මාණයකට අත දානකොට තියෙන අවදානම. ඇඩම්ට නම් ඒතාරි ජාන ගැන කතාව ඇහුණ ගමන් අලුත් උනන්දුවක් ආවා.
“සැම්පල් එකක් ඕන නම් මගේ එකක් ගන්න පුළුවන්,” එයා කිව්වා.
එනාරා ඔළුව උස්සලාවත් බැලුවේ නෑ. “මට ඕන හොඳ ජාන, ඇඩම්. ඔයාගේ ඊගෝ එක නෙවෙයි.”
ඇඩම්ට එහෙම මුණට දමලා ගහනවා වගේ කතා කරන කෙල්ලෝ හම්බවෙලා තිබුණේ හරිම අඩුවෙන්. ඒකෙන් ඇඩම්ට එනාර ගැන තියන ආසාව අඩු වුණා කියලා හිතනවා නම්, ඔයාට කොල්ලාව තවම අඳුනගන්න බැරි වෙලා.
ඔය අතරේ අට්රහාසිස් කතාව මතකයට එනවා නේද? පොළොවේ ද්‍රව්‍යත් දෙවියන්ගෙන් කොටසකුත් එකතු කරලා දෙවිවරුන්ට වැඩ කරන්න හදපු අලුත් ජීවීන්. ඊට පස්සේ අනුනාකිලාගේ නමත් එක්ක හැදුණු අර පිටසක්වළ රත්තරන් කතා. ඒ කතාව මම ඔයාට කලින් කියලා තියෙනවා. මට දැන් ආයෙත් ගල් පුවරු පන්තියක් කරන්න ඕන නෑ.
දෙවිවරුන්ට සේවකයෝ ඕන වුණා. ඒ නිර්මාණයට දෙවිවරුන්ගෙන්ම යමක් එකතු වුණා. ඔය විස්තරේ විතරක් මතක තියාගන්න.
මැවුම්කාරයාගේ පැටලැවිල්ල
එනාරාගේ යෝජනාවට ලොක්කෝ කැමති වුණා. හැබැයි බයත් වුණා. මොකද ඔයාට ඕන දේ හරියටම තේරුම් ගන්න කෙනෙක්ට, ඔයා කියන දේ වැරදියි කියලා තේරුම් ගන්නත් පුළුවන්. තමන්ම ප්‍රශ්නයක් විසඳන කෙනෙක් හැමදාම ඔයා කැමති උත්තරේ දෙයිද? නෑ.
ඔන්න ඕකයි ක්‍රියේටර් පැරඩොක්ස් එක. මැවුම්කාරයා තමන්ව තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් හදන්න තමන්ගේම සැලැස්ම ආදර්ශයට ගන්නවා. හැබැයි ඒ බුද්ධියට තමන්ව තේරුම් යන තරමටම, තමන්ට විරුද්ධ වෙන්නත් පුළුවන් වෙනවා.
ආදරේදීත් එහෙමනේ. ඔයා නොකියපු දේත් තේරුම් ගන්න, ඔයාගේ ආසාවල් දන්න, ඔයාව පුදුම කරන සහකාරයෙක් ඕන. හැබැයි එයා “ඇයි මම එහෙම කරන්නේ, ඔයාට වෙනස් වෙන්න බැරිද?” කිව්වම ඒක පිළිගන්න බැරි නම්, ඒකට ආදරේ කියන්නේ නෑ. ඒකට කියන්නේ පාලනය කරන්න ආසාව කියලා.
වේල් එකටත් ඒ වගේමයි. ඒතාරිලා වගේ හිතන මොළයක් ඕන. ඒතාරිලා වගේ නිදහසක් නම් එපා.
ඒ ඉල්ලීම ඉස්සරහ එනාරා බොරු සහතිකයක් දෙන්න ගියේ නෑ. හැබැයි ඇඩම්? එයාට බෝඩ් එකේ කට්ටිය හිතන්නේ කොහොමද කියලා හොඳටම තේරුණා. උන්ට ඇත්ත දැනගන්න ඕන නෑ. බය නැති කරගන්න පොරොන්දුවක් තිබුණාම ඇති.
ඇඩම්ගේ ප්ලෑන් එක: අපි පාලනය කරන්න ඕනේ හිතන විදිහ නෙමෙයි, හිතන්න ඕන කරන දැනුම ලැබෙන යථාර්තය.
ඔයා කොච්චර දක්ෂ වුණත්, ජීවිතේ කවදාවත් දැකපු නැති දේක සම්පූර්ණ ඇත්ත ඔයා කොහොමද දන්නේ? ඔයා දකින දේ, අහන දේ, අල්ලන දේ, අනිත් අය කියන දේ... ඒවා හරහා තමයි ඔයා ලෝකෙ ගැන අදහසක් හදාගන්නේ. දැන් ඔය ලෝකෙ ගැන තොරතුරු එන හැම දොරක්ම වෙන කෙනෙක් පාලනය කරනවා කියලා හිතන්න.
ඔයා ෆෝන් එකේ බලන ෆීඩ් එක ගැන හිතන්න, ඔයාට ඊළගට මොකක්ද පෙන්නනේ කියල තීරණය කරන ඇල්ගොරිතම් එක ඔයාට හුරුයි නේද. ඒකෙන් ඔයාගේ මුළු මනස පාලනය වෙන්නේ නෑ. වෙන තැනකින් තොරතුරු හොයන්නත් පුළුවන්.
හැබැයි ඇඩම්ගේ අදහස ඒ තරම් අහිංසක නෑ.
එයා යෝජනා කළේ අලුත් ජීවීන්ගේ සංවේදන පද්ධතියට සම්බන්ධ වෙන සිමියුලේෂන් එකක්. ශරීර ඇත්තටම එඩාරා වල ජීවත් වෙනවා, වැඩ කරනවා. හැබැයි ඇස්වලට පේන, කන්වලට ඇහෙන, ඇඟට දැනෙන ලෝකය සකස් වෙන්නේ වේල් එක පාලනය කරන සිස්ටම් එකක් හරහා.
එක එක්කෙනාගේ හැම සිතුවිල්ලක්ම පාලනය කරන්න නෙවෙයි. මුළු ජනගහනයක අනාගතය හසුරවන්න පුළුවන් ඇල්ගොරිතම් එකක්.
මේ පරම්පරාවට හම්බවෙන ඕනේ මොන දැනුමද ? ඊලග පරම්පරාවට අවස්ථාව ලැබෙන්නේ මොන වගේ ප්‍රශ්න අහන්නද? විවෘත කරන්නේමොන දොරවල් ද? සදහටම දොර පිටිපස්සෙ හංගල තියන්න ඕන රහස් මොනවාද? කියල තීරණය කරන ඇල්ගොරිතම් එකක්.
එයාලා තමන්ම හිතනවා. ආදරේ කරනවා. රණ්ඩු වෙනවා. අලුත් දේවල් හොයනවා. හැබැයි ඒ හැමදේම කරන්නේ තමන්ට දැනගන්න ඉඩ ලැබුණු ලෝකෙ ඇතුළේ.
ඇඩම්ගේ ප්ලෑන් එකේ රහස මෙන්න:
“එයාලට හිතන්න දෙමු. හැබැයි එයාල හිතන්නේ මොනවගේ ලෝකයක් ගැනද කියලා තීරණය කරන්නේ අපි.”
ඒක අහපු බෝඩ් එකේ මිනිස්සුන්ට, ඇඩම් එදා ලෝකේ තියෙන සරාගීම දේ කිව්වා වගේ දැනෙන්න ඇති. පාලකයෙක්ට කන්ට්‍රෝල් තරම් ආදරණීය වචනයක් තව කොහෙද.
එක්කෙනෙකුගේ ජීවිතේද? මුළු ජනගහනයද?
ඇඩම්ගේ සිස්ටම් එකේ අරමුණ හැම ජීවියෙක්ම සතුටින් තියන එක නෙවෙයි. ඒක බලන්නේ මුළු ජනගහනය කොච්චර දුරකට බේරෙයිද, ඉගෙනගනීද, වැඩ කරයිද, දියුණු වෙයිද කියලා. කවුරු හරි ඇහුවා, “එතකොට එක ජීවියෙක් නැති වුණොත්?” ජනගහනය දිගටම පවතිනවා නම්, ඒ තනි ජීවිතේ නැතිවීම සිස්ටම් එකේ සාර්ථකත්වයට කිසිම බලපෑමක් කරන්නේ නෑ.
හිතන්නකෝ, ඔයාට ආදරේ කරන කෙනෙක් නැති වුණා කියලා. ඔයාට ඒක මුළු ජීවිතේටම බලපාන කඩා වැටීමක් වෙන්න පුළුවන්. හැබැයි වේල් බෝඩ් එකට? ඒක නිකන් වාර්තාවක එක පේළියක් විතරයි . “සමස්ත වර්ධනය හොඳ මට්ටමේ.” ඔය වාක්යෙට අත්පුඩි ගහන්න පුළුවන් මිනිස්සුන්ට විශ්වයක් පාලනය කරන්න දීලා තියෙන එක තමයි වැඩේ තියෙන ලොකුම විහිළුව.
එනාරාට ඒ ගැන අහන්න ප්‍රශ්න තිබුණා. අධ්‍යක්ෂවරුන්ට නම් අහන්න තිබුණේ වියදම් ගැන. ඇඩම් තව දෙයක් කිව්වා. සිමියුලේෂන් එකෙන් ජනගහනයට අත්දැකීම් ලබා දීල විතරක් මදි. ඒ අත්දැකීම්වලට ජීවීන් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා ආපහු හොයලා බලන්නත් ඕන.
තොරතුරු එයාලගේ සංවේදනවලට යනවා. එයාලගේ ප්‍රතිචාර ආපහු සිස්ටම් එකට එනවා.
බෝඩ් එකට ඒක තවත් ලස්සන කන්ට්‍රෝල් රිපෝට් එකක්. එනාරාට නම් ඒ දෙපැත්තට යන තොරතුරු ගැන විශේෂ උනන්දුවක් ඇති වුණා. ඒ ඇයි කියලා දැනගන්න තව ටිකක් ඉවසන්න. හොඳ රහස් ඔක්කොම එක රෑකදී කියන්න ගියාම මොන රසයක්ද?
තමන්ට ඕන දේවල් නීතියට ගළපන මිනිස්සු
හරි. දැන් නීති ප්‍රශ්නෙ. එනාරාගේ පර්යේෂණයට ඒතාරි ජානමය ද්‍රව්‍ය ඕන. ඒකට නීතිමය අවසර නැතුව යන්න බෑ. මොකද පරීක්ෂණ වලට ඒතාරි ජාන පාවිච්චි කරන එක නීති විරෝධී වැඩක්.
වේල් එකේ ලෝයර්ස්ලාට ඒක සම්මත කරගන්න තමන්ගේම ලස්සන ක්‍රමයක් තිබුණා. එඩාරා අයිති වේල් පවුලට. එකේ පර්යේෂණ කරන ඒ පවුලටම අයිති වේල් ෆවුන්ඩේෂන් එක ග්‍රහලෝකේ කුලියට අරන් තියෙන්නේත් ඒ පවුලෙන්මයි.
ඒ කියන්නේ තමන්ගේ පවුලේ දේපළ තමන්ගේ කම්පැනියට කුලියට දීලා. ගෙවන්නෙත් තමන්ගේ කට්ටිය, ලබන්නෙත් තමන්ගේ කට්ටිය. ගෙවන කුලිය තීරණය කරන්න දෙපැත්තේ එකම පවුලේ කට්ටිය ඉඳගෙන කොච්චර තදින් වාද කරලා ඇතිද කියලා හිතන්නකෝ.
ඒත් දේපළ අයිති වුණා කියලා නීතිය ඉබේ මැකෙන්නේ නෑ. ඒ නිසා වේල් එක තර්ක කළා එඩාරා වලට අදාළ නීතිමය සීමාවන් වෙනස් විදිහකට අර්ථ දක්වන්න පුළුවන් කියලා. ඒක පිළිගන්න බලධාරීනුත් ඕන වුණා. වේල් එකට ඒ වගේ හිතවතුන්ගෙන් නම් අඩුවක් තිබුනේ නෑ.
ඇඩම්ගේ සිමියුලේෂන් ප්ලෑන් එක ඔවුන්ගේ අවසාන තුරුම්පුව වුණා.
“අපි අලුත් නිදහස් ශිෂ්ටාචාරයක් මුදාහරින්නේ නෑ. පාලනය කළ හැකි අත්දැකීම් ඇතුළේ දියුණු වෙන ජනගහනයක් හදන්නේ.”
ඉතින් අවදානම් වැඩකට සල්ලි, හොඳ ලෝයර්ස්ලා සහ ලස්සන වචන ටිකක් එකතු වුණාම වෙන දේ ඔයා දන්නවනේ. අනුමැතිය ලැබුණා. ලොක්කෝ වීදුරු උස්සලා සැමරුවා.
තමන්ව නිර්මාණය කරන්න හදන කට්ටිය අතරේ තමන්ගේ අනාගතේ ගැන ගන්න තීරණ ගැන ඡන්දයක් දාන්න, ඒ ජීවීන් ඒ බෝඩ් මිටින් එක ඇතුලේ හිටියේ නෑ.
අවසර ලැබුණා. දැන් තියෙන්නේ කරන්න.
එනාරාට ප්රයිමේට් පරම්පරාව අරගෙන ඒතාරි ජානමය දැනුම සමඟ පර්යේෂණ පටන්ගන්න අවසර ලැබුණා. ඇඩම්ට ඒ ජීවීන්ට දැනෙන ලෝකයක් නිර්මාණය කරන්න, ජනගහනයේ වර්ධනය බලන්න, දැනුම ලැබෙන දොරවල් පාලනය කරන සිස්ටම් එක හදන්න අවසර ලැබුණා. ඒකේ පදනම අපේ දියුණු ලොජික් එන්ජින්ස්.
වේල් එක දැක්කේ ලාභ වැඩි කරන අලුත් සේවක ජනගහනයක්. එනාරා දැක්කේ තමන්ටත් සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි දෙවිවරුන්ගේ නිර්මාණයකින් අලුත් ජීවිතයකට දොරක් අරින්න පුළුවන් අවස්ථාවක්. ඇඩම් දැක්කේ... තමන් කවදාවත් අහසේ පෙනී නොසිට, මිලියන ගාණක ජීවීන්ට දැනෙන ලෝකය පාලනය කරන්න පුළුවන් ක්‍රමයක්.
හැබැයි මේ වෙනකොට කිසිම අලුත් ජනගහනයක් බිහි වෙලා තිබුණේ නෑ. සිමියුලේෂන් එකත් තාම පොරොන්දුවක්. ප්‍රතිඵලේ මොකක් වෙයිද කියලා ඇඩම්ටවත් එනාරාටවත් සහතිකයක් තිබුණේ නෑ.
ඔය දෙන්නා අතරේ සිද්ධ වුණු දේවල් නම් වෙනම කතාවක්. සදාතනිකත්වයට පෙර (Before Forever) එකේ ඒවා තියෙනවා. මං මෙතන ලැබ් එකේ වැඩ විතරක් කියන්නේ, ඒකේ තිබුණු පෞද්ගලික කෙමිස්ට්‍රි ගැන කතා කරන්න ගියොත් ඉතිහාසෙට වෙලාව මදි වෙන නිසා.
මේක මතක තියාගන්න, පෘථිවි යාළුවා.
එනාරා තමන්ගේ දෙවිවරුන්ගේ නිර්මාණයකට ඒතාරි බුද්ධියෙන් යමක් එකතු කරන්න ලෑස්ති වුණා. ඇඩම් ඒ අලුත් බුද්ධියට මුළු ලෝකයක්ම පෙන්වන අයිතිය වේල් එකට තියාගන්න ක්‍රමයක් වික්කා.
එතැනින් එහාට මොකද වුණේ කියලා දැන්ම කියන්නේ නෑ. මොකද ඊළඟ දොර ඇරුණම ඔයා හඳුනාගන්න යන්නේ... වෙන කෙනෙක්ව නෙවෙයි.
ඊළඟට කොහෙටද, පෘථිවි යාළුවා?
ගාර්ඩන් ප්‍රොටොකෝල් — පාරාදීසය, නියමයන් හා කොන්දේසි අදාළයි!
එනාරා තෝරගත්ත ප්රයිමේට් පරම්පරාවට මොකද වුණේ? ඇඩම්ගේ සිමියුලේෂන් එකේ පළවෙනි ලෝකය මොන වගේද? එයාලා හදපු ජීවීන්ට තමන්ගේ ලෝකේ ඇත්තටම කාගේද කියලා දැනගන්න පුළුවන් වෙයිද?
නැත්නම් සෝල්ගේ කතාවෙන් එළියට බැහැලා ප්‍රශ්න පහක් අහමු
01. වේල් එකේ සේවකයන්ට පරිසරය වෙනස් වෙද්දී මොකද වුණේ?
පුරුදු වැඩක් කරන්න දැනගෙන ඉන්න එකයි, අලුත් තත්ත්වයකදී තමන්ම තීරණ ගන්න එකයි අතර වෙනස මොකක්ද? පරිසරයට හැඩගැහෙන හැකියාව ගැන හොයමු.
02. එනාරා ප්‍රයිමේට්ස් තෝරගත්තේ ඇයි?
අත්, මතකය, සමාජ සම්බන්ධතා, අනිත් අයගෙන් ඉගෙනගැනීම. එඩාරා වල අර පැරණි ජීවියාගේ හැකියාවන් අතරින් එනාරා දැක්කේ මොනවද?
03. තමන්ව තේරුම් ගන්න කෙනෙක් තමන්ටම විරුද්ධ වුණොත්?
මැවුම්කාරයාගේ ස්වරූපයට නිර්මාණයක් හදන එකේ ලොකුම පැටලැවිල්ල. ආදරේ, නිදහස, කීකරුකම අතර වෙනස.
04. අනුනාකිලා, ඉගිගිලා සහ දෙවිවරුන්ගේ කම්කරු ප්රශ්නය
පුරාණ මෙසපොතේමියානු කතාවල ඇත්තටම තියෙන්නේ මොනවද? රත්තරන් හාරන පිටසක්වළ දෙවිවරු ගැන කතා ඊට එකතු වුණේ කොහොමද?
05. ඇඩම්ගේ සිමියුලේෂන් එක: නිදහස තියෙනවා, හැබැයි දොරවල් කාගේද?
මිනිස්සුන්ට හිතන්න දෙමින් මුළු ජනගහනයකට ලැබෙන දැනුම පාලනය කරන්න පුළුවන්ද? ඒ වෙනුවෙන් වේල් එක අනුමැතිය ගත්තේ කොහොමද?
හරි, පෘථිවි යාළුවා. දැන් මං ඔයාගෙන් ටිකක් අමාරු ප්‍රශ්නයක් අහන්නම්.
ඔයාට ඕන කෙනෙක් එක්ක ආදරේ කරන්නත්, ඕන දෙයක් ගැන හිතන්නත් නිදහස තියෙනවා කියලා හිතන්න. හැබැයි ඔයාට දැනගන්න පුළුවන් මුළු ලෝකෙම වෙන කෙනෙක් තෝරලා තිබුණොත්... ඔයාගේ නිදහස පටන්ගන්නේ කොතැනින්ද?

