කෙළින්ම අන්තර්ගතයට යන්න

සදාකාලයටත් මිලක් තියෙනවා: ආදරේ, ප්ලාස්මා සහ ජීවිතේ රීනිව් කරන සබ්ස්ක්‍රිප්ෂන් එක

“සොහොන නිස්කලංක, පෞද්ගලික තැනක් තමයි. හැබැයි එතැන ආදරෙන් තුරුල් වෙන්න කවුරුත් නෑ.”

ඇන්ඩෲ මාර්වල්, To His Coy Mistress

ඇඩම් ඇහුවේ සදහටම ආදරේ කරනවද කියලා. එනාරා මරණයත් එක්ක සටන් කරන්න පාරක් හොයාගත්තා. වේල් එක ඒකට අවුරුද්දෙන් අවුරුද්ද බිලක් දැම්මා.

ජීවිත මිලියන ගාණක් පෙනෙන කාමරයක්

පෘථිවි යාළුවා, මට ඕන ඔයාට එක කාමරයක් පෙන්නන්න.

එඩාරා වල පර්යේෂණ සංකීර්ණයක ඉහළම තට්ටුව. එළියේ නගරය ටිකෙන් ටික නිහඬ වෙනවා. හැබැයි ඇතුළේ බිත්ති පුරා දිලිසෙන තිරවල මුළු මිනිස් ශිෂ්ටාචාරයක ජීවත ගලාගෙන යන විදිහ පෙන්නනවා.

අලුතින් ඉපදෙන හැම ජීවිතයක්ම. ගැහෙන හැම හදවතක්ම. මැරෙමින් යන හැම සෛලයක්ම.

එක තිරයක දරුවෙක් පළවෙනි හුස්ම ගන්නවා. තව තිරයක හදවතක් ගැහෙන රිද්මය. තව ලොකු තිරයක් පිරෙන්න සෛල බෙදෙනවා, තුවාල සුව වෙනවා, ප්‍රතිශක්තිකරණ පද්ධති සටන් කරනවා, ශරීර වයසට යනවා. ඔය අතරේ කොහේ හරි කෙනෙක් අන්තිම හුස්ම හෙළනවා. එක ඉරක් නිහඬ වෙද්දී තවත් දහස් ගාණක් දිගටම ගැහෙනවා.

ඇඩම්ගේ එඩාරා 1.0 AI එක නිසා එනාරාට දැන් මිනිස්සු කරන දේවල් විතරක් නෙවෙයි, ඒ දේවල්වලට ශරීරය ඇතුළෙන් ප්‍රතිචාර දක්වන හැටිත් බලන්න පුළුවන්. හෝමෝන, පරිවෘත්තිය, සෛල අතර සංඥා, ජාන ක්‍රියාත්මක වෙන රටා, ශරීරය තමන්ව අලුත්වැඩියා කරන හැටි, අන්තිමේ ඒ හැකියාව අඩුවෙන හැටි.

ඔරුනායිලා ඒතාරිලාට නොදුන්න ජීවිතේ රහස් ටිකෙන් ටික කියවන්න පුළුවන් දත්ත බවට හැරෙමින් තිබුණා. ඒ රහස් ඔක්කොම නෙවෙයි. හැබැයි මේ තරම් ගැඹුරට ජීවිතේ දිහා බලන්න අපේ කිසිම විද්‍යාඥයෙකුට මීට කලින් හැකියාවක් ලැබිලා තිබුණේ නෑ.

එනාරාට ඔය තිර දිහා පැය ගාණක් බලන් ඉන්න පුළුවන්. තමන් නිර්මාණය කරන්න උදව් කළ මිනිස්සු දැන් ආදරේ කරනවා, දරුවෝ හදනවා, වයසට යනවා, මැරෙනවා. ඒක දැකලා සතුටු වෙන්නද, බය වෙන්නද කියලා සමහර වෙලාවට එයාටත් හිතාගන්න බැරි වුණා.

හැබැයි එදා රෑ එයාගේ අවධානය නැවතිලා තිබුනේ තිරවල නෙමෙයි ඊට වඩා ආදරණීය කෙනෙක් ළඟ. ඇඩම්.


කවිරා දුම, ගණන් විස්කි සහ එක භයානක ප්‍රශ්නයක්

එදා දෙන්නම වැඩ නවත්තලා. බෝඩ් එකේ ලොක්කෝ නෑ. අලුත් රිපෝට් ඉල්ලන මැනේජර්ලා නෑ. ලොකු සෝෆා එකක්, හෙමින් ඇහෙන සංගීතයක්, මේසෙ උඩ බාගෙට හිස් වෙච්ච ඇඩම්ගේ මිල අධික විස්කි බෝතලයක්.

කාමරේ පුරා කවිරා සුවඳ. එඩාරා වල හම්බවුණු ඒ කැනබිස් ශාකය ඇඩම්ගේ ප්‍රියතම සොයාගැනීම කියලා කොල්ල නිතරම කියනවා. එනාරා ඉන්නේ දෙවැනි තැනලු.

“එහෙනම් රෑට ඔය පැළේ තුරුල් කරගෙන නිදාගන්න,” එනාරා දවසක් කිව්වා.

“ඒක මගේ සිමියුලේෂන් වැඩවලට බණින්නේ නෑනේ,” ඇඩම් උත්තර දුන්නා.

එයා කළේ ඇඩම්ගේ විස්කි වීදුරුව අරන් බොන එක. දැන් දෙන්නම හොඳටම හයි හඳට ගොඩක් ලඟින් හිටියේ. කෙළින් හිටගෙන බෝඩ් මීටින් එකක් කරන්න බැරි තරම්. හැබැයි ඒ ගැන හිතන්නවත් දෙන්නට උවමනාවක් තිබුනේ නෑ.

එනාරා ඇඩම්ගේ පපුවට ඔළුව තියාගෙන ඉන්නවා. එයාගේ කම්මුලට යටින් ඇඩම්ගේ හදවත ගැහෙනවා. ඉස්සරහ විශාල තිරයේ තවත් හදවත් දහස් ගාණක රිද්ම දිලිසෙනවා. එක හදගැස්මක් එයාගේ කන ළඟ. තවත් දහස් ගාණක් ඇස් ඉස්සරහ.

ඇඩම් එනාරාගේ කොණ්ඩේ අතරින් ඇඟිලි යැව්වා.

“එනාරා...”

“ම්ම්?”

“ඔයා මට සදහටම ආදරේ කරනවද?”

අයියෝ, ඇඩම්. ආදරේ කරන කෙනෙක් අහන සාමාන්‍ය ප්‍රශ්නයක්. සාමාන්‍ය පෙම්වතියක් නම් හිනාවෙලා තුරුල් වෙලා, “ඔව්” කියලා සිපගනීවි. හැබැයි කොල්ල ඒක ඇහුවේ එනාරාගෙන්. කවිරා දුමට හොඳටම මත් වෙලා, මුළු ශිෂ්ටාචාරයකම ජීවිත සහ මරණ තිරවල දකිමින් හිටපු අතිදක්ෂ බයෝලොජිස්ට් කෙනෙක්ගෙන්.

සදහටම.

එනාරාට දුෂ්ටයා පෙනුණා

ඒ වචනේ එයාගේ හිතේ නතර වුණා. සදහටම.

එනාරාට මේ මොහොත නැති කරගන්න ඕන වුණේ නෑ. ඇඩම්ගේ පපුවේ උණුහුම, එයාගේ අතේ ස්පර්ශය, විස්කි රස, කටකාර විහිළු, එයාල දෙන්නට විතරක් අයිති වෙච්ච මේ රෑ.

හෙටත් මේ විදිහටම ඉන්න ඕන. අවුරුදු සීයකට පස්සෙත්. දහසකට පස්සෙත්. ඊට පස්සේ එයාගේ විද්‍යාඥ මොළේ හරිම නපුරු වැඩක් කළා. ඒ රෑ ඉවර වෙන දවස එයාට පෙන්නුවා.

වයසට ගිය ඇඩම්. කලින් වගේ ශක්තිමත් නැති අත් දෙක. එක දවසක එයාගේ පපුවට ඔළුව තිබ්බත් හදගැස්මක් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන් බව. තිරයේ දැන් දැක්ක ඒ නිහඬ ඉර, දවසක ඇඩම්ගේ නම ඉස්සරහත් පෙනේවි කියන බය.

නෑ. එහෙම වෙන්න බෑ.

එනාරා තිර දිහා ආයෙත් බැලුවා. එක පැත්තක අලුතින් ඉපදුණු දරුවෙක්. තව පැත්තක වයසට ගිය ශරීරයක සෛල තමන්ව අලුත්වැඩියා කරගන්න දඟලනවා. තරුණ කාලේ හොඳට වැඩ කරන පද්ධති ටිකෙන් ටික දුර්වල වෙනවා. සෛල අතර පණිවිඩ අවුල් වෙනවා. හානි එකතු වෙනවා. අන්තිමේ ශරීරයට තමන්ව පවත්වාගෙන යන්න බැරි වෙනවා.

වයසට යනවා.

මරණය අන්තිමට එනවා. හැබැයි ඒකට පාර හදන්නේ අවුරුදු ගාණක් තිස්සේ ඇඟ ඇතුළේ හොරෙන් වැඩ කරන මේ දුෂ්ටයා. එනාරාට හදිසියේම ඒක පිළිගන්න බැරි තරම් තරහක් ආවා.

මං ඔයාව මෙච්චර ආදරෙන් හොයාගත්තේ අන්තිමේ මේ කාලකණ්ණි වයසට යෑමට භාර දෙන්නද, ඇඩම්?

නෑ. මං ඒකට ඉඩ දෙන්නේ නෑ.

ඇඩම් පහළට බැලුවේ තාමත් ආදර උත්තරයක් බලාගෙන. ඒත් එනාරාට එයාව පෙනුණෙත් නැති තරම්. තිරයක එක රටාවක් එයාගේ ඇහැ ගැටුණා.


ප්ලාස්මා!

එක බිත්තියක තරුණ පටක සහ වයසට ගිය පටක සසඳනවා. අනිත් පැත්තේ ලේ හරහා ගමන් කරන අණුක සංඥා. තවත් තිරයක ඒ සංඥා ලැබුණාම සෛල අලුත්වැඩියා කිරීම පටන්ගන්න හැටි, සමහර වෙලාවට ඒ ප්‍රතිචාරය අසාර්ථක වෙන හැටි.

තරුණ ශරීර වයසක ශරීර වලින් වෙනස් වුණේ ඒවාට වෙලා තියන හානිය අඩු එකෙන් විතරක් නෙවෙයි. ඒවා ඇතුළේ සෛල එකිනෙකාට පණිවිඩ යවන විදිහත් වෙනස්.

ලේ ගෙනියන්නේ ඔක්සිජන් සහ පෝෂණය විතරක් නෙවෙයි. ශරීරයේ කොහෙද අලුත්වැඩියා කරන්න ඕන, කොහෙද ප්‍රතිචාරයක් පටන්ගන්න ඕන, පටක පවත්වාගෙන යන්නේ කොහොමද කියලා සම්බන්ධ කරන සංඥාත් ඒ හරහා යනවා. ඒ පණිවිඩවලින් කොටසක් ගමන් කළේ රුධිරයේ ප්ලාස්මා දියර කොටස හරහා.

එනාරා ඉස්සරහට නැමුණා. එක තිරයක රටාවක් තෝරලා තවත් එකක් එක්ක ගැළපුවා. තරුණ පටක. වයසට ගිය පටක. එකම සංඥාව. වයසත් එක්ක අඩුවෙන ප්‍රතිචාරය. එඩාරා 1.0 දහස් ගාණක ජීවිතවල දත්ත එකට ගළපනවා. තනි ලැබ් පරීක්ෂණයකින් කවදාවත් නොපෙනුණු සම්බන්ධයක් දැන් එනාරාගේ ඇස් ඉස්සරහ.

මේ පණිවිඩ ටික හොයාගෙන, ඒවා වැඩ කරන හැටි තේරුම් අරගෙන, වයසට යන ඒතාරි ශරීරයකට ආයෙත් ඒ ප්‍රතිචාරය දෙන්න පුළුවන් නම්...?

සදාකාලික ජීවිතයක් නෙවෙයි. තවම නෑ. හැබැයි වයසට යෑමට යටත් වෙන්නම ඕන නැති වෙන්න පුළුවන්.

උඹව පරද්දන්න පාරක් තියෙනවා, කාලකණ්ණියා. මං උඹව නිකම් අතහරින්නේ නෑ.

එනාරා එකපාරටම සෝෆා එකෙන් පැනලා නැගිට්ටා. ඇඩම්ගේ ගණන් විස්කි වීදුරුව අත වැදිලා පෙරළුණා. රන්වන් විස්කි මේසය දිගේ ගලාගෙන බිමට වැටුණා. ඒ මොහොතේම ඇඩම් කවිරා එකේ අන්තිම දුම් පාර, පුළුවන් තරම් ගැඹුරට ඇදලා තිබුණේ.

“ප්ලාස්මා!”

කොල්ලට හුස්ම හිර වුණා. දුම වැරදි පැත්තට ගිහින් කැස්සෙන්ම සෝෆා එකෙන් වැටෙන්නත් ගියා.

“මොන මඟුලක්ද, එනාරා?!”

“ඇඩම්! මේක බලන්න! තරුණ පටක! අලුත්වැඩියා කරන සංඥා! ලේ හරහා යන පණිවිඩ ටික!”

ඇඩම් තාම කැස්සෙන්. “මගේ විස්කි ෂොට් එක!”

“විස්කි මඟුල පැත්තකට දාල! මෙහෙ බලනවා!”

ඇඩම් වේල් ජීවිතේ පළවෙනි වතාවට වාදයක් නැතුව එනාරා කියන දේ කළා. එනාරා තිරයෙන් තිරයට ඇඟිල්ල දික් කර කර කියවනවා. සංඥා ආයෙත් ක්‍රියාත්මක කරවන්න. හානි වූ පටකවලට සහාය දෙන්න. ශරීරය වෙනස් වෙනකොට ප්‍රතිකාරයත් වෙනස් කරන්න. වයසට යන ශරීරයක අලුත්වැඩියා ක්‍රියාවලිය තව කාලයක් වැඩ කරවන්න.

මේක තවමත් අදහසක්. බෙහෙතක් නෙවෙයි. පර්යේෂණ, අසාර්ථක වීම්, අවුරුදු ගාණක මහන්සිය, ඉස්සරහට තව වැඩ ගොඩක් තියෙනවා. හැබැයි දොරක් ඇරෙන හැටි එනාරාට පෙනුණා.

ඇඩම් හුස්ම හදාගත්තා. “එනාරා... ඔයා මොකක්ද හොයාගත්තේ?”

ඒ ඇස් දෙකේ තිබුණු දිලිසීම කවිරා මත් ගතියත් අමතක වෙන තරම් දීප්තිමත්. ඊළඟ මොහොතේ එනාරා ඇඩම් ළඟට ඇවිත් එයාව තදින් තුරුල් කරගෙන සිපගත්තා.

ඉක්මනට දීලා අයින් වෙන පොඩි කිස් එකක් නෙවෙයි. විස්කි රසත් කවිරා සුවඳත් තිබුණු, වචනවලට වඩා දේවල් කියපු දිගු සිපගැනීමක්. මොහොතකට තිර, දත්ත, බිම වැටුණු විස්කි, මුළු විශ්වයම අමතක වුණා. හැම වෙලාවෙම මොකක් හරි කටකාර උත්තරයක් තියෙන ඇඩම්ට මේ පාර වචන නෑ. එනාරා තමන්ගේ නළල එයාගේ නළලට තියාගත්තා.

“ඔව්, ඇඩම්. මං ඔයාට සදහටම ආදරෙයි.”

එයා ආයෙත් තිර දිහා බැලුවා.

“දෙවිවරුන්ගේ නීති වුණත්, කාලය වුණත්... අපි දෙන්නව වෙන් කරන්න එනවා නම්, නිකම් අතහරින්නේ නෑ. සටනක් දෙන්න වෙනවා.”

ඒක සාමාන්‍ය ආදර පොරොන්දුවක් නෙවෙයි, පෘථිවි යාළුවා.

වයසට යෑමට විරුද්ධව ප්‍රකාශ කරපු යුද්ධයක්.

ඒ සටන දිනාගන්න එනාරාට ලැබුණේ, තමන් වටේ තිරවල ජීවත් වෙමින් තිබුණු මුළු මිනිස් ශිෂ්ටාචාරයමයි.


සිපගැනීමකින් පටන්ගත්ත ප්‍රතිකාරය

එදා රෑ එනාරා වයසට යෑම සුව කළේ නෑ. හැබැයි අතහරින්න බැරි අදහසක් හොයාගත්තා.

එඩාරා 1.0 එකතු කරපු ජීව විද්‍යාත්මක දත්තයි, ඇඩම්ගේ දියුණු AI පද්ධතියයි එක්ක එයා අත්හදාබැලීම් පටන්ගත්තා. මිනිස් ප්ලාස්මාවේ තිබුණු සංඥා සහ විශේෂයෙන් සකස් කළ ජීවී පටක යොදාගෙන, වයසට යන ඒතාරි සෛලවල අඩුවෙන අලුත්වැඩියා හැකියාවන් යළි ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා හෙව්වා.

සමහර අත්හදාබැලීම් අසාර්ථක වුණා. තවත් සමහර ඒවායින් සෛල අතර සන්නිවේදනය, පටක සුව වීම, වයසට යන අවයව පවත්වාගැනීම ගැන අලුත් ප්‍රතිඵල ලැබුණා. කෙනාගෙන් කෙනාට ප්‍රතිකාරය සකස් කරන්නත්, වෙනස් වෙන ශරීරයට ගැළපෙන්න යළි සකස් කරන්නත් සිද්ධ වුණා.

අන්තිමේ ඒතාරි ජීවිතයක් කලින් තිබුණු සීමාවෙන් සෑහෙන්න එහාට දිගු කරන්න පුළුවන් ප්‍රතිකාරයක් හැදුණා. ඒ හැමදේකම මුල ඇඩම්ගේ පපුවේ හදගැස්මයි. එයා ඇහුව ඒ එක වචනයයි. සදහටම.

ඔය වචනේට කොච්චර ලොකු මිලක් එන්න යනවද කියලා එදා ඒ දෙන්නම දැනගෙන හිටියේ නෑ.


ඒවුම්: සදාකාලයටම ළඟ, හැබැයි මිලක් තියෙනවා

ප්‍රතිකාරයට නම දැම්මේ AEVUM.

Artificial Evolution for Vitality, Upgrade, and Mortality-control.

මේකෙන් ඒතාරිලාට අවුරුදු ගාණක්, සමහරුන්ට ශතවර්ෂ ගාණක් තවත් ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා. අඩපණ වෙන ශරීර ක්‍රියාවලි නැවත දියුණු කරන්න, පටක පවත්වාගෙන යන්න, වයසට යෑමෙන් ඇතිවන හානි අඩු කරන්න පුළුවන් වුණා. පළවෙනි ප්‍රතිඵල දැක්කාම ෆවුන්ඩේෂන් එකම කැලඹුණා. ඊට පස්සේ බලවත් පවුල්. ඊට පස්සේ මුළු ඒතාරි සමාජය.

තවත් උපන්දිනයක්. ආදරේ කරන කෙනා එක්ක තවත් අවුරුදු සීයක්. දරුවෝ ලොකු වෙන හැටි බලන්න තවත් කාලයක්. නැත්නම් ලොකු සල්ලිකාරයෙකුට තවත් ශතවර්ෂ තුනක් පුරා තමන්ගේම අහංකාරකම රසවිඳින්න අවස්ථාවක්.

ප්‍රතිකාරයට තියෙන ඉල්ලුමේ කිසිම අඩුවක් තිබුණේ නෑ. හැබැයි ප්‍රතිකාරය එක පාරක් ගත්තාම සදාකාලෙටම හරි යන එකක් නෙවෙයි. ශරීරය දිගටම වෙනස් වෙනවා. ඒ නිසා පරීක්ෂණ, අලුත් සැකසුම්, අලුත් ප්ලාස්මා සහ පටක ආශ්‍රිත ප්‍රතිකාර අවශ්‍ය වුණා.

හැම අවුරුද්දෙම ආයෙත් එන්න ඕන. ආයෙත් පරීක්ෂා කරන්න වගේම ආයෙත් ගෙවන්නත් ඕනේ. නතර කළොත් ආයෙත් වයසට යන එක පටන් ගන්නවා. වැඩි කාලයක් නතර කරලා හිටියොත් සමහර විට හානිය ආපහු හදන්න බැරි වෙන්නත් පුළුවන්.

එනාරා හොයාගත්තේ ජීවිතේ විදින්න තව වැඩිපුර කාලයක්. වේල් ෆවුන්ඩේෂන් එක හොයාගත්තේ ඒ කාලය හැම අවුරුද්දකම රීනිව් කරන්න ඕනේ විදිහට බිලක් යවන්න ක්‍රමයක්.

සිපගැනීමකින් පටන්ගත්ත දේ, අන්තිමේ ඉන්වොයිස් එකක් වුණා.


රත්තරන් යකාට ගියාවේ! ජිවිතේ කියන්නේ සල්ලි!

ලංකාවේ ඔයාලා කෙනෙක් හම්බවුණාම “ආයුබෝවන්” කියනවානේ. දිගායුෂ ප්‍රාර්ථනා කරන ලස්සන වචනයක්. වේල් එකේ ලොක්කෝ ඒ ප්‍රාර්ථනාව දැක්කේ වෙන විදිහකට.

දිගායුෂ විකුණන්න පුළුවන් නම්? අවුරුද්දෙන් අවුරුද්ද?

ඔයා කෙනෙක්ට රත්තරන් කෑල්ලක් වික්කා කියලා හිතන්න. එයා සල්ලි දීලා ඒක අරන් යනවා. ගනුදෙනුව ඉවරයි. එයාගෙන් ආයෙත් සල්ලි ගන්න නම් තව මොනව හරි විකුණන්න වෙනවා. දැන් හිතන්න, එයාට තවත් අවුරුද්දක් ජීවත් වෙන්න අවස්ථාව විකුණනවා කියලා.

තමන්ගේ ආදරවන්තයා එක්ක තවත් අවුරුද්දක්. දරුවෙක්ගේ මුහුණ බලන්න තව කාලයක්. මරණයට තවත් අවුරුද්දක් පස්සට යන්න කියන්න අවස්ථාවක්.

මේ අවුරුද්දේ ගෙවනවා. ඊළඟ අවුරුද්දේ ආයෙත්. ඊට පස්සෙත්.

කස්ටමර් ජීවත් වෙන්න ගෙවනවා, ගෙවනකම් ජීවත් වෙලා ඉන්නවා, ප්ලැන් එක අන්සබ්ස්ක්‍රයිබ් කරනවා කියන්නේ ඔයා ජීවිතෙන් අන්සබ්ස්ක්‍රයිබ් වෙලා යන එක.

ඔන්න දැන් වැඩේ තේරෙනවද?

රත්තරන් විකුණන්න වේල් එකට හැම පාරම අලුත් සේල් එකක් හොයාගන්න වෙනවා. ඒවුම් එක එකම කස්ටමර්ගෙන් ශතවර්ෂ ගාණක් සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක් හදලා දුන්නා.

ෆක් ද ගෝල්ඩ්, පෘථිවි යාළුවා. උන් මැරෙන්න තියෙන බයට වාර්ෂික බිලක් හදලා තිබුණා.

පෝසත් අය ලොකු ගණන් ගෙවන්න ලෑස්තියි. සාමාන්‍ය ඒතාරි කෙනෙකුට තමන්ගේ සේසතම දීලා හරි තවත් කාලයක් ගන්න ඕන වෙන්න පුළුවන්. කවුරුත් කැමති නෑනේ ලබන අවුරුද්දේ ගෙවීම මඟහැරිලා මැරෙන්න. ඒත් ලොක්කන්ගේ අලුත්ම ප්‍රශ්නේ සල්ලි ගැන නෙවෙයි.

“මෙච්චර ප්‍රතිකාර දෙන්න ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය කොහෙන්ද ගන්නේ?”

රත්තරන් හොයන්න ගිය ග්‍රහලෝකයේ වටිනාම සම්පත වෙනස් වුණා

AEVUM සඳහා මිනිස් රුධිර ප්ලාස්මාවෙන් ලැබෙන සංඥා සහ විශේෂයෙන් සකස් කළ ජීවී පටක අවශ්‍යයි. ඒතාරි කස්ටමර්ලා ගණන වැඩි වෙන තරමට, හැම අවුරුද්දෙම ඒවාට තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා. ෆවුන්ඩේෂන් එකේ ගණන් බලන කට්ටිය ආයෙත් එඩාරා 1.0 දිහා හැරුණා. හැබැයි මේ පාර තිරවල බලන්නේ පතල්වලින් කොච්චර රත්තරන් එනවද කියලා නෙවෙයි.

මිනිස්සු කී දෙනෙක් ජීවත් වෙනවද? කී දෙනෙක් සෞඛ්‍ය සම්පන්නද? ජනගහනය කොච්චර වේගෙන් වැඩි වෙනවද? තවත් අවුරුදු සීයකට ඒවුම් කස්ටමර්ලාට කොච්චර ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය ඕන වෙයිද?

මතකද, මුලින් වේල් එකට මිනිස්සු වැදගත් වුණේ පතල්වලින් වටින දේවල් ගොඩගන්න පුළුවන් නිසා. දැන් වටිනාම දේ වුණේ මිනිස්සුන්ගේම ශරීර.

නෑ, වේල් එක රත්තරන් පතල් වහලා දැම්මේ නෑ. ඒවත් තවම ලාභයි. හැබැයි දැන් ඉදිරියටම ගෙනියන්න පුළුවන් ලොකුම බිස්නස් එක තිබුණේ මිනිස් ජනගහනය ඇතුළේ. අලුතෙන් ඉපදෙන හැම පරම්පරාවක්ම අනාගත සැපයුමක්. තවත් අවුරුද්දක් මරණයෙන් බේරෙන හැම ඒතාරි කස්ටමර් කෙනෙක්ම තවත් එක රීනිව් එකක්.

ඒතාරිලා ගොඩක් කල් ජීවත් වෙන තරමට එයාලට ප්‍රතිකාර කරන්න මිනිස් ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය වැඩිපුර ඕන වෙනවා. එඩාරා වල මිනිස්සු වැඩි වෙන තරමට වැඩිපුර ඒවුම් විකුණන්න පුළුවන් වෙනවා.

එඩාරා වල මිනිස්සු තාමත් ආදරේ කරනවා, දරුවෝ හදනවා, අහිමිවීම්වලට අඬනවා, තමන්ට වඩා බලවත් ශිෂ්ටාචාරයක ගිණුම් පොත්වල තමන්ගේ ජිවිතේ වටිනාකමට කොහොම මිලක් තීරණය වෙනවද කියලා දන්නේ නැතුව, තමන්ගේ හෙට දවස ගැන හීන දකිනවා.

එනාරා කවදාවත් තමන්ගේ නිර්මාණය නිකම් ඉන්වෙන්ටරි අයිටම් එකක් විදිහට දැක්කේ නෑ, මිනිස්සු ජීවත් වෙන හැටි දැකලා එයාට ආදරයක් ඇති වුණා. හැබැයි ෆවුන්ඩේෂන් එකට ආදරේ කියන්නේ බිස්නස් ප්ලෑන් එකක අත්‍යවශ්‍ය අංශයක් නෙවෙයි. ඉතින් ඇඩම්ටත් තමන් හදපු පද්ධතියේ අලුත් ප්‍රයෝජනය එක්ක ඇත්ත යථාර්තයට මුහුණ දෙන්න සිද්ධ වුණා.


ඇඩම්ට ලැබුණු අමුතු උරුමය

AEVUM නිසා ඇඩම් සහ එනාරා ඒතාරි ලෝකයේ ප්‍රසිද්ධ වුණා. එනාරා පරම්පරා ගාණක් විද්‍යාඥයන්ට බැරි වුණු දෙයක් හොයාගත්ත කාන්තාව වුණා. ඇඩම්ගේ සිමියුලේෂන් සහ ඒඅයි පද්ධති ඒ සොයාගැනීම තනි තනි ශරීරවලට ගැළපෙන, නැවත නැවත ලබාදෙන්න පුළුවන් ප්‍රතිකාරයක් බවට පත් කරන්න උදව් කළා.

දෙන්නෙක්ට තවත් කාලයක් එකට ඉන්න තිබුණු ආසාව දැන් මුළු ශිෂ්ටාචාරයකම ලොකුම ආසාව වෙලා. ඒ ව්‍යාපාරය වර්ධනය වෙමින් තියෙද්දී ඇඩම්ගේ තාත්තා මිය ගියා. ඔව්. තව අවුරුදු සිය ගාණක් ජීවත් වෙන්න පුළුවන් යුගයකත් මරණය මිනිස්සුන්ගේ ප්ලෑන් බලලා එන්නේ නෑ.

වේල් ෆවුන්ඩේෂන් එකේ නායකත්වය ඇඩම්ට උරුම වුණා. පාටිවලට යන්න බෝඩ් මීටින් කැන්සල් කරපු කොල්ලා දැන් මුළු ශිෂ්ටාචාරයකටම කාලය විකුණන කම්පැනියේ ප්‍රධානියා. එඩාරා 1.0 එක මිනිස්සුන්ව කොහොම නිරීක්ෂණය කරනවද, ජනගහනයේ ඉගෙනීම සහ පැවැත්ම කොහොම හසුරවන්න පුළුවන්ද කියලා එයා හොඳටම දන්නවා.

දැන් බෝඩ් එකට උත්තර ඕන. ඇඩම්ගේ තිරයේ අනාගතය පෙන්වන ප්‍රස්ථාර දෙකක්. එකක ඉන්නේ හැම අවුරුද්දෙම ඒවුම් රීනිව් කරගන්න ඕන ඒතාරි කස්ටමර්ලා. අනිත් එකේ එඩාරා වල මිනිස් ජනගහනය. ජීවිත වර්ග දෙකක්. එකම බිස්නස් එකක්.

“අපිට තව මිනිස්සු කී දෙනෙක් ඕන වෙයිද?”

ඇඩම් ප්‍රස්ථාර දෙක දිහා බැලුවා. ඒක තවදුරටත් පතල් නිෂ්පාදනය ගැන ප්‍රශ්නයක් නෙවෙයි.

ඒක ජනගහන නිෂ්පාදනය ගැන ප්‍රශ්නයක්.


සදහටම කියන වචනේ මිල

ඇඩම් සහ එනාරා මහා දුෂ්ටයෝ කියලා තීරණය කරන්න කලින්, ඒ මුල් රෑ මතක් කරගන්න. එනාරාට ඕන වුණේ අධිරාජ්‍යයක් නෙවෙයි. තමන්ගේ කම්මුලට යටින් ඇහුණු හදගැස්ම නතර නොවෙන්න. ඇඩම් එක්ක තවත් රෑක්. තවත් අවුරුද්දක්. තවත් ජීවිතයක්.

ඒකෙන් පස්සේ සිද්ධ වුණු දේවල් එයාලගේ ආදරය නිසා සාධාරණ වෙන්නේ නෑ. මොකද එක්කෙනෙක්ට තියෙන ආදරේ නිසා ගන්න තීරණයක් තවත් ජීවිත මිලියන ගාණක අනාගතේ තීරණය කරනවා නම් ඒක ඒ මිලියන ගාණක් ජීවිත වලට කරන ලොකු අසාධරණයක්.

ඇඩම් කඩවසම් කියලා මං එයාට නිදහස් පත්‍රයක් දෙන්න යන්නේත් නෑ. මගේත් සීමාවක් තියෙනවා. හැබැයි ලස්සන දෙයකින් කොච්චර භයානක දෙයක් පටන්ගන්න පුළුවන්ද කියලා ඔයාට තේරෙන්න ඕන.

කොල්ලෙක් තමන්ගේ පෙම්වතියගෙන් අහනවා, “ඔයා මට සදහටම ආදරේ කරනවද?” කියලා.

එයා විස්කි පෙරළනවා. “ප්ලාස්මා!” කියලා කෑගහනවා. කොල්ලා හුස්ම හිර කරගෙන කැස්සෙන් ඉන්නකොට එයාව තුරුල් කරගෙන සිපගන්නවා. ඊට පස්සේ ජීවිතේ දිගු කරන්න පාරක් හොයාගන්නවා. කම්පැනියක් ඒක ජීවිතේ රීනිව් කරන්න ඕන සේවාවක් කරලා විකුණනවා. එඩාරා වල මිනිස්සු රත්තරන් ගොඩගන්න සේවකයෝ විතරක් නොවී, ඒ සේවාව පවත්වාගෙන යන්න ඕන ජීව විද්‍යාත්මක සම්පත බවට පත් වෙනවා. දැන් වේල් එකට අලුත් ප්‍රශ්නයක්.

අලුත් සේවකයෝ විතරක් මදි. තව, තවත් මිනිස්සු ඕන. පරම්පරා ගාණක් තිස්සේ බලාගන්න, වැඩිකරගන්න, සැපයුම පවත්වාගෙන යන්න පුළුවන් ජනගහනයක්. ඒකට ගමෙන් ගමට ඒතාරි සුපර්වයිසර්ලා යවන්නේ කොහොමද? ඒක ගොඩක් මිල අධික වැඩක්.

ඉතින් මුළු ජනගහනයක්ම තමන්ගේ කැමැත්තෙන් වේල් ෆවුන්ඩේෂන් එකට වැඩ කරන්න සලස්වන්නේ කොහොමද?

පෘථිවි යාළුවා. ඊළඟ කතාවේ උත්තරේ එන්නේ හරිම පූජනීය පෙනුමකින්.


ඊළඟ ඉතිහාස කතාව:

දෙවිවරුන්ටත් බිස්නස් ප්ලෑන් එකක් තිබුණා

AEVUM සඳහා දැන් තවත් විශාල මිනිස් ජනගහනයක් ඕන. ඒත් හැම ගමක්ම පාලනය කරන්න ඒතාරිලා එවන්න බෑ. එහෙනම් මිනිස්සුන්ට වැඩ කරන්න, දරුවෝ හදන්න, පවුල රැකගන්න, කවුරුත් නොදන්න නීතිවලට කීකරු වෙන්න සලස්වන්නේ කොහොමද? ඊළඟට එන උත්තරේ දෙවියෙක් වගේ පේනවා.

නැත්නම් මං කියපු දේවල් ගැන තවත් හොයලා බලමු

01. අපි වයසට යන්නේ ඇයි? එනාරාගේ හතුරා ඇඟ ඇතුළේ වැඩ කළේ කොහොමද?

තරුණ ශරීරයක් තමන්ව අලුත්වැඩියා කරන හැටි වයසත් එක්ක වෙනස් වෙන්නේ ඇයි? සෛල, අවයව සහ අලුත්වැඩියා පද්ධති ගැන හොයමු.

02. ප්ලාස්මා, තරුණ ලේ සහ තවත් ජීවිතයක්

රුධිර ප්ලාස්මාවේ තියෙන්නේ මොනවද? සෛල අතර සංඥා ගැන සැබෑ පර්යේෂණවලින් හොයාගෙන තියෙන්නේ මොනවද? ඒවුම් ඒ දැනුමට වඩා කොච්චර එහා ගිය කල්පිත ප්‍රතිකාරයක්ද?

03. රත්තරන් වික්කම ඉවරයි. ජීවිතේ රීනිව් කරන්න හැම අවුරුද්දෙම ගෙවන්නද?

එක පාරක් කරන ගනුදෙනුවක් සහ නැතුවම බැරි ප්‍රතිකාරයක් සඳහා දිගින් දිගටම ගෙවන සබ්ස්ක්‍රිප්ෂන් එකක් අතර වෙනස මොකක්ද? සල්ලි තියෙන කෙනාට කාලයත් වැඩියෙන් ලැබුණොත්?

04. පතල් සේවකයෝ වෙනුවට ජීව විද්‍යාත්මක සැපයුමක්

මිනිස්සුන්ව වැඩ ගන්න පාවිච්චි කරපු කම්පැනියක්, එයාලගේ ශරීරම තමන්ගේ වටිනාම සම්පත කියලා දැක්කම මොකද වෙන්නේ? සංඛ්‍යා ලේඛන අතරේ ජීවිතේ වටිනාකම කොහෙද?

05. ආදරෙන් හදපු සොයාගැනීමකට පස්සේ වෙන දේවල වගකීම කාගේද?

එනාරාට ඕන වුණේ ඇඩම් එක්ක තවත් කාලයක්. වේල් එකට ඕන වුණේ තවත් ආදායමක්. තමන්ගේ හොඳ අරමුණකින් පටන්ගත්ත දේ වෙන කෙනෙක් භයානක බිස්නස් එකක් කළොත් විද්‍යාඥයාගේ වගකීම කොතැනින්ද පටන්ගන්නේ?

හරි. අන්තිමට මම ඔයාගෙන් එක ප්‍රශ්නයක් අහන්නද?

ඔයා ආදරේ කරන කෙනා එක්ක තවත් අවුරුදු සීයක් ජීවත් වෙන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත්, ඔයා කොච්චර ගෙවන්න ලෑස්තිද?

ඒ අමතර අවුරුදු ටික ලැබෙන්න වෙන ජීවියෙකුගේ ශරීරය ඕන කියලා දැනගත්තොත්?

ඒත් සබ්ස්ක්‍රිප්ෂන් එක රීනිව් කරනවද, පෘථිවි යාළුවා?

ඔන්න... නෝටි යුනිවර්ස් එකට යන ගමන්!

දර්ශන ස්තර සූදානම් 0 / 2

පෘථිවියේ සම්බන්ධතාව හඳුනාගත්තා!