දෙවිවරුන්ටත් බිස්නස් ප්ලෑන් එකක් තිබුණා
“ස්වාමීන්වහන්සේගේ ඇස් සෑමතැනම පැවත, නපුරන්ද යහපතුන්ද බලන්නේය.”
ශුද්ධ බයිබලය, හිතෝපදේශ 15:3
මිනිස්සු ආශීර්වාද ඉල්ලුවා. දෙවිවරු පොරොන්දු දුන්නා. වේල් ෆවුන්ඩේෂන් එක ගණන් බැලුවා.
අහසින් දෙවියෙක් බැස්ස රෑ
එඩාරා වල ගඟක් අයිනේ පොඩි ගමක්. හැන්දෑවට තේ හදන ලිප් වල දුම ඉහළ යනවා. කවුරු හරි ධාන්‍ය මල්ලක සල්ලි ගැන රණ්ඩු වෙනවා. පොඩි දරුවෙක් නිදාගන්න බෑ කියලා අඬනවා. අම්මා එයාව තුරුල් කරගෙන, කොහොම හරි අද රෑවත් ටිකක් කලින් නිදාගන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා.
ඊළඟ මොහොතේ මුළු ගමම නිහඬයි. අහස මැදින් අමුතු එළියක් පහළට එනවා. ගස්වල සෙවණැලි හැරෙනවා. හුළඟ පවා මොහොතකට නතර වුණා වගේ. ඒ එළියෙන් කෙනෙක් පහළට බහිනවා. ඔයා දැකලා තියෙන මනුස්සයෙක් වගේමයි. හැබැයි එහෙමත් නෑ. එයාගේ පෙනුම, ඇඳුම්, එයා වටේ සිද්ධ වෙන දේ... ගමේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සීමාවෙන් සෑහෙන්න එහාට ගිය දෙයක්.
රත්තරන් කැබලි ටිකක් අරගෙන ආපු මිනිහෙක්ගේ අතින් ඒවා බිම වැටෙනවා. එක්කෙනෙක් දණ ගහනවා. ඊට පස්සේ තව කෙනෙක්. අන්තිමේ හැමෝම බිම. අර අම්මා දරුවාව තදින් තුරුල් කරගෙන ඔළුව පහත් කරනවා. එතකොට අහසින් ආපු කෙනා කතා කරනවා. ඔවුන්ගේම භාෂාවෙන්. ඔවුන්ට තේරෙන විදිහට.
“ඔබලා තනිවෙලා නෑ. අපි ඔබලා දිහා බලාගෙන ඉන්නවා. අපි කියන මඟ යන අයව රැකගන්නවා.”
පෘථිවි යාළුවා, හිතන්නකෝ ඔයා ඒ ගමේ හිටියා කියලා. තමන්ගේ නමත් දන්න, අහසෙන් බැහැපු කෙනෙක් ඉස්සරහ දණ ගහගෙන ඉන්නකොට, එයා දෙවියෙක් නෙවෙයි කියලා හිතන්න ඔයාට මොන හේතුවක්ද තියෙන්නේ?
දැන් මේ දර්ශනයේ ඔයා නොදැක්ක කොටසක් කියන්නම්. ආපු දෙවියා, එයා ආපහු යානයට නැග්ගා. උත්සවයට ඇඳපු ඇඳුම් මාරු කළා. බොන්න දෙයක් අරගෙන එදා වැඩේ රිපෝට් එකට අත්සන් කළා.
අලුත් ජනාවාසය සම්බන්ධ කරගත්තා. ප්‍රාදේශීය නායකයෙක් තෝරාගත්තා. උපදෙස් පිළිපැදීමේ තත්ත්වය සතුටුදායකයි.
දෙවියෙක් හම්බවුණා කියලා ගමේ අය හඬා වැටුණා.
ඔයාගේ දෙවියටත් බොස් කෙනෙක් හිටියා.
AEVUM එකට මිනිස්සු ඕන. ගොඩක් මිනිස්සු.
කලින් චැප්ටර් එකේ ඇඩම්ගෙයි එනාරාගෙයි ආදර පොරොන්දුවෙන් පටන්ගත්ත දේ මතකයිනේ. AEVUM නිසා ඒතාරිලාට අවුරුදු ගානක් ජීවත් වෙන්න පුළුවන් වුණා. හැබැයි ඒ අමතර කාලය රීනිව් කරන්න හැම අවුරුද්දෙම ගෙවන්න ඕන. ඒ ප්‍රතිකාරයට අවශ්‍ය දේවල් එන්නේ මිනිස් ශරීරවලින්.
ඉතින් වේල් ෆවුන්ඩේෂන් එකට දැන් පතල්වල වැඩ කරන්න දක්ෂ ජනගහනයක් විතරක් මදි. ගොඩක් විශාල, දිගටම වැඩෙන මිනිස් ජනගහනයක් ඕන.
ඇඩම්ගේ එඩාරා 1.0 ඒඅයි එකට කවුද ඉපදෙන්නේ, කවුද මැරෙන්නේ, ජනගහනය කොහොමද දියුණු වෙන්නේ කියලා බලන්න පුළුවන්. හැබැයි ගම් ගාණක් පාලනය කරන්න, වැඩ බෙදන්න, ගැටලු විසඳන්න, රත්තරන් එකතු කරන්න, නීති ක්‍රියාත්මක කරන්න ඒතාරි සුපර්වයිසර්ලා සිය ගාණක් යවන එක?
අනේ, ඒකේ ගමන් වියදම දැක්කම බෝඩ් එකේ අය මැරෙයි. එයාලට ඕන වුණේ මිනිස්සුන්ගෙන්ම ඒ වැඩ ටික කරවාගන්න ක්‍රමයක්. මිනිස්සු හදාගන්න නායකයෝ. මිනිස්සු පිළිපදින නීති. ඒ නීති කඩන්න බය හිතෙන හේතුවක්. ඒකට වේල් එක සොයාගත්ත උත්තරේ තමයි ඔයා දැන් දැක්ක අර ආශ්චර්යය.
දෙවියෝ.
ඇත්තටම ආපු කෙනා ඔරුනායි කෙනෙක් නෙවෙයි. ඒතාරි නියෝජිතයෙක්. එඩාරා 1.0 පෙන්වපු ලෝකේ ඇතුළේ ජීවත් වුණු ගමේ මිනිස්සුන්ට ඒ වෙනස දැනගන්න ක්‍රමයක් තිබුණේ නෑ. එයාලට ඒක දිව්‍ය දර්ශනයක්. වේල් එකට? අලුත් මැනේජ්මන්ට් සිස්ටම් එකක්.
දෙවොලක්ද? බ්‍රාන්ච් ඔෆිස් එකක්ද?
මුලින් පුංචි පූජා තැනක්. ඊට පස්සේ වටේ ගම් එකතු වෙද්දී ලොකු දෙවොලක්. සමහර තැන්වල දෙවිවරු කිහිපදෙනෙක් වෙනුවෙන් එකම පූජා සංකීර්ණයක්. එක එක්කෙනාට වෙනස් කතාවක්, වෙනස් බලයක්, වෙනස් වගකීමක්. හැම දෙවියෙකුටම වෙනම ඔෆිස් එකක් හදන්න ඕන නෑනේ. දිව්‍ය ලෝකෙටත් බජට් එකක් තියෙනවා.
මිනිස්සු දෙවොලට ආවේ තමන්ගේ ප්‍රශ්න අරගෙන. කෙනෙක් දරුවෙකුට ආශීර්වාද ඉල්ලනවා. තව කෙනෙක් අසනීප වූ බිරිඳ වෙනුවෙන් බාරයක් වෙනවා. කෙනෙක් හොඳ අස්වැන්නකට පඬුරු ගේනවා. තවත් අය රත්තරන්, මැණික්, ධාන්‍ය, වටිනා බඩු පූජා කරනවා. ඒ හැම ප්‍රාර්ථනාවක්ම ඔයාට හුරුයිනේ, පෘථිවි යාළුවා. බය වෙලා, අසරණ වෙලා, හොඳ දෙයක් වෙයි කියලා විශ්වාසයක් හොයන එක මනුස්ස ගතියක්.
හැබැයි දෙවොල ඇතුළේ තවත් වැඩ සිද්ධ වුණා.
පූජකයෝ ගබඩා බලාගත්තා. ලියන්න දන්න කට්ටිය ගණන් තියාගත්තා. ගමේ කී දෙනෙක් ඉන්නවද, අලුතින් කී දෙනෙක් ඉපදුණාද, කවුද වැඩ කරන්න පුළුවන්, කවුද නායකයා, කොහෙන්ද කොච්චර වටිනා දේවල් ලැබුණේ කියලා සටහන් වුණා. වැඩ බෙදන්න, මිනිස්සු අතර ප්‍රශ්න විසඳන්න, නීති කඩන අය ගැන තීරණ ගන්නත් එතැනින් පුළුවන්. ගමේ අයට ඒක දෙවියන්ගේ දෙවොල.
වේල් එකේ ෆයිල් එකේ? ප්‍රාදේශීය පරිපාලන මධ්‍යස්ථානය.
පූජකයා රත්තරන් ටික හැඳින්වුවේ දෙවියන්ට දුන්න පඬුරක් කියලා. වේල් එක ඒක ලියාගත්තේ ලැබුණු සම්පතක් විදිහට. එකම රත්තරන්. වෙනස් ගිණුම් පොත් දෙකක්. ඒකයි මේ වැඩේ තියෙන කැතම ලස්සන.
මිනිස්සු ආශීර්වාද ඉල්ලුවා. දෙවිවරු පොරොන්දු දුන්නා. වේල් එක ලෙජර් එක බැලුවා.
හැබැයි ඒ ගමේ හැම පූජකයෙක්ම හොරෙක් කියලා හිතන්න එපා. සමහරු ඇත්තටම විශ්වාස කළා. එයාලා තමන්ගේ මිනිස්සුන්ව සනසන්නත් උදව් කරන්නත් උත්සාහ කළා. එයාලත්ත මන්ගේ හිසට ඉහළින් තියෙන ගනුදෙනුව ගැන දැනගෙන හිටියේ නෑ .
පූජනීය නීති. හරිම ලාභ අරමුණු.
දෙවියන්ව හම්බවුණා. දෙවොලකුත් හැදුණා. දැන් ඉතින් ජීවත් වෙන්න ඕන විදිහ ගැන නීතිත් එන්න පටන්ගත්තා. දෙවියන්ට කීකරු වෙන්න. දෙවියන් තෝරපු නායකයන්ට ගරු කරන්න. පඬුරු දෙන්න. පවුල රැකගන්න. දරුවෝ හදන්න. ජීවිතේ රැකගන්න. ඒ හැම නීතියක්ම පිටින් ඇහෙන්නේ හරිම හොඳ අදහසක් වගේ. හැබැයි වේල් එකේ පැත්තෙන් බලන්නකෝ.
නායකයන්ට කීකරු වුණාම සුපර්වයිසර්ලා අඩුයි. පඬුරු ගෙනාවාම රත්තරන් ගබඩාවට එනවා. පවුල් එකට තියාගත්තම ජනගහනය ස්ථාවරයි. දරුවෝ වැඩි වුණාම අනාගත ජීව විද්‍යාත්මක සැපයුමත් වැඩියි. ඒ විතරක් නෙවෙයි. තමන්ගේම ජීවිතය අවසන් කරගැනීමත් දෙවියන්ට විරුද්ධ බරපතළ වරදක් කියලා නීතියක් හැදුවා. ගමේ අයට කිව්වේ ජීවිතය පූජනීයයි, ඒක විනාශ කරන්න අයිතියක් නෑ කියලා.
වේල් එකේ පෞද්ගලික ගණන්වල තිබුණු හේතුව වෙනස්. ජීවත් වෙන මනුස්සයෙක් තවමත් වටිනවා. අහිමි වෙන ජීවිතයක් ආපහු භාවිත කරන්න බැරි සම්පතක්. ඒක ආදරෙන් කෙනෙක්ව රැකබලාගන්න එක ගැන හදපු නීතියක්ද? නැත්නම් තමන්ට අයිති නැති ජීවිතයක් තමන්ගේ දේපළක් වගේ රැකගන්න හදපු නීතියක්ද? හිතලා බලන්න.
ඒ නීතිවලට තවත් බලයක් ලැබුණේ දෙවියෝ හැමදේම බලාගෙන ඉන්නවා කියපු නිසා. කවුරුත් නැති තැනක වැරැද්දක් කළත් දෙවියෝ දන්නවා. නීතියක් කඩන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.
හැම ගෙදරකම මුරකාරයෙක් තියන්න ඕන නෑ. හැම ගෙදරක්ම, කෙනෙක් තමන්ව බලාගෙන ඉන්නවා කියලා විශ්වාස කළාම ඇති.
එඩාරා 1.0 මුළු ජනගහනයම නිරීක්ෂණය කරමින් හිටපු නිසා ඒ කතාව සම්පූර්ණයෙන්ම හිස් බියක් වුණෙත් නෑ. දෙවියන්ගේ ඇස් කියලා මිනිස්සු හිතුවේ, ඇත්තටම කාගේ සිස්ටම් එකද?
ආදරේ, රාගය, ඉරිසියාව... ඊළඟ අවුරුද්දේ ටාර්ගට් එක
වේල් එකට පඬුරු විතරක් මදි. AEVUM සඳහා තව මිනිස්සු ඕන. ඉතින් ඇඩම් එඩාරා 1.0 එකේ ජනගහන අරමුණු වෙනස් කළා. වැඩි උපත්. දරුවන් වැඩි දෙනෙක් ජීවත් වීම. ස්ථාවර පවුල් සහ එකිනෙකා බලාගන්න පුළුවන් ප්‍රජාවන්.
හැබැයි ඒකට මිනිස්සුන්ට අලුතෙන් සෙක්ස් උගන්නන්න ඕන වුණේ නෑ. එනාරාගේ ජීව විද්‍යාත්මක නිර්මාණයේ ඒ හැඟීම් දැනටමත් තිබුණා. ආකර්ෂණය, සතුට, බැඳීම, දරු සෙනෙහස, අහිමි වෙයි කියන බය. ඇඩම්ට පුළුවන් වුනා ඒවා වර්ධනය වෙන්න බලපාන අත්දැකීම්, සමාජ තත්ත්වයන් සහ දැනුම හසුරවන්න.
කෙනෙක්ගේ හිනාවක් දිහා ආපහු හැරිලා බලන්න හිතෙන ආකර්ශණය. ලොකු කට්ටියක් මැද එයා, ඔයාගේ ඇස් දිහා විතරක් බලනකොට ඇඟ ඇතුළේ දුවන නොසන්සුන් සතුට. අල්ල ගත්ත අතක් අත්හරින්න තියෙන දුක. ඊයේ රෑ කිව්ව වචනයක් අද උදේත් ඔයාව තරහා ගස්සන එක.
ඊට පස්සේ ආදරේ. රාගය. ඉරිසියාව. බොරුවක් අහුවෙලා ගෙදරම යුද්ධයක්. ආයෙත් එකතු වීමක්. සමහර වෙලාවට දරුවෙක්. අනේ, මිනිස්සුන්ගේ ලව් ජීවිතේ හසුරවන්නම වෙනම දෙවියෙක් ඕන වෙන්න ඇති. ඒ තරම් මඟුල් එතැන වෙනවනේ!
හැබැයි මේකේ නපුරු පැත්ත දැන් අහන්න.
ආදරේ කරන දෙන්නෙක් තමන්ගේ අනාගතේ ගැන හිතනවා. දරුවෙක් හදන්න තීරණය කරනවා. අම්මා කෙනෙක් රෑ නිදි නැතුව පොඩි එකා බලාගන්නවා. තාත්තෙක් ඒ පවුල රැකගන්න වැඩ කරනවා. ආච්චිලා, සීයලා, නෑදෑයෝ තව අතක් දෙනවා. ඔය හැඟීම් බොරු නෙවෙයි. කවුරුවත් එයාලා වෙනුවෙන් රොබෝලා වගේ තීරණ ගත්තෙත් නෑ. එයාලා ආදරේ කළේ ඇත්තටමයි.
හැබැයි ඒ ආදරෙන් උපදින දරුවාගේ අනාගත වටිනාකම ගැන වේල් එක වෙනම ගණන් බැලුවා.
එනාරාට ඇඩම් එක්ක සදහටම ඉන්න ඕන වුණු නිසා පටන්ගත්ත සොයාගැනීමක්, දැන් මිනිස්සුන්ගේ ආදරේ පවා ජනගහන ඉලක්කයකට ගැළපෙනවද කියලා බලන තැනකට ගෙනල්ලා තිබුණා.
ආදරේ මිනිස්සුන්ගේ. ටාර්ගට් එක වේල් එකේ.
දෙවිවරු වෙනස්. නීති වෙනස්. ලාභ ලබන්නේ එකම කට්ටිය.
හැම ගමකටම එකම නීති දාලා වැඩේ ගොඩදාන්න බැරි වුණා. කොහේ හරි මිනිස්සු බය වෙලා කීකරු වෙනවා. තව තැනක හොඳ නායකයෙක්ට ගරු කරලා. තවත් ප්‍රදේශයක උත්සව, සංගීතය, ආදරේ, දරුවන්ට දෙන ආශීර්වාද හරහා මිනිස්සු එකට බැඳෙනවා.
ඉතින් වේල් එක වෙනස් වෙනස් ක්‍රම අත්හදා බැලුවා.
සමහර ගම්වල දෙවියන්ගේ නීති තදයි. තවත් තැනක පවුලට දෙන ගෞරවය වැඩියි. කොහේ හරි දෙවියන්ගේ නියෝජිතයා පූජකයෙක්. තවත් තැනක රජෙක්. වෙනත් ප්‍රදේශයක දෙවිවරු කිහිපදෙනෙක් ගැන කතා. පූජා වෙනස්, උත්සව වෙනස්, තහනම් වෙනස්. එඩාරා 1.0 ඒ හැම ජනගහනයක්ම නිරීක්ෂණය කළා. කී දෙනෙක් ඉපදෙනවද, කී දෙනෙක් බේරෙනවද, මිනිස්සු කොච්චර එකතු වෙලා වැඩ කරනවද, කවුද විරුද්ධ වෙන්නේ, සම්පත් කොච්චර ලැබෙනවද කියලා සසඳලා බැලුවා.
හැබැයි මිනිස්සුත් නිකම් හිටියේ නෑ. එයාලා තමන්ගේම සිරිත් විරිත් හැදුවා. කතා වෙනස් කළා. දෙවිවරු ගැන එකිනෙකා එක්ක වාද කළා. අලුත් ගීත, අලුත් ආදර කතා, අලුත් විශ්වාස ඇති වුණා. එඩාරා 1.0 එකට හැම කතාවක්ම කලින් ලියලා දෙන්න බැහැ. ඒත් වේල් එක බැලුවේ එකම ප්‍රශ්න ටික. ජනගහනය වැඩෙනවද? බේරෙනවද? සම්පත් එනවද? අණ පිළිපදිනවද?
පහළින් දෙවිවරුන්ගේ නම් වෙනස් වුණා. ඉහළින් රිපෝට් එක ගියේ එකම කම්පැනියට.
අම්මාට දරුවෙක්. දෙවොලට ආශීර්වාදයක්.
දැන් ආයෙත් අපි අර ගමකට යමු. අලුතින් දරුවෙක් ලැබුණු අම්මා කෙනෙක් දෙවොලට එනවා. රෑ පුරා නිදි නෑ. දරුවාට දවස් දෙකක් තිස්සේ උණ. ඇගේ ඇස් යට නිදි නැති සලකුණු. දරුවාව අතේ තුරුල් කරගෙන ඉන්න හැටි දැක්කම තේරෙනවා, එයාව අතහරින්න කිසිම හේතුවකට සූදානම් නෑ කියලා.
එයා පඬුරක් අරගෙන ආවා. දරුවා බේරුණොත් තව පඬුරක් ගෙනෙනවා කියලා බාරයකුත් වෙලා. පූජකයා දරුවාගේ නළලට අත තියලා ආශීර්වාද කළා. එයා මේ අම්මාව දන්නවා. ඒ පවුලේ දුකත් දන්නවා. දරුවා සනීප වෙනවා නම් එයාටත් සතුටුයි. අම්මාගේ ඇස්වලට කඳුළු ආවා. මේ තරම් බයකින් පස්සේ කෙනෙක් “ඔයාලව රැකගන්නවා” කියන එක ඇහෙනකොට දැනෙන සැනසීම ඔයාට තේරෙනවනේ.
දෙවොලේ ලේඛනයට අලුත් උපතක් සටහන් වුණා. ඒ සටහන එඩාරා 1.0 පද්ධතියටත් ගියා.
තවත් උපතක්. තවත් ජීවී ශරීරයක්. අනාගත ජීව විද්‍යාත්මක සැපයුමට තවත් එකතු වීමක්.
ඒ අම්මා ගෙදර යන ගමන් දරුවාගේ මුහුණට හිමීට සිපගන්නවා. එයාට එදා ලැබුණේ ආශීර්වාදයක්. එයා බලාපොරොත්තු වෙන්නේ පොඩි එකා හොඳ වෙලා හිනාවෙන දවසක්. කවදාවත් දැකලා නැති වේල් අධ්යක්ෂවරයෙක් ඒ දරුවාගේ අනාගත වටිනාකම ගැන ගණන් බලනවා කියලා එයා දන්නේ නෑ. අම්මාට ඒ දරුවා මුළු ජීවිතේම.
වේල් එකට ඒ ජීවිතේ අනාගත සැපයුමේ තවත් අංකයක්.
ඇඩම්වයි එනාරාවයි විනිශ්චය කරන්න කලින්...
දැන් ඔයාට මේ දෙන්නා ගැන මොනවා හිතෙනවද, පෘථිවි යාළුවා?
එනාරා මිනිස්සුන්ට ආදරේ කළා. ඒත් එයාගේ සොයාගැනීම නිසා මිනිස්සුන්ගේ ශරීර වෙන කෙනෙක්ට වටිනා සම්පතක් වුණා. ඇඩම් එනාරාට සදහටම ආදරේ කරන්න ඕන වුණා. ඒත් එයා හදපු පද්ධතිය දැන් මුළු ජනගහනයක්ම වෙන කෙනෙක්ගේ අවශ්‍යතාවයට හසුරවමින් හිටියා. උන් කරපු දේට උත්තර දෙන්නම ඕන. ආදරේ තිබුණා කියලා ඒ වගකීම නැති වෙන්නේ නෑ. හැබැයි ඒ දෙන්නාට විතරක් “යක්ෂයෝ” කියලා අත පිහදාගන්න කලින්, ඔයාගේ ලෝකේ දිහාත් පොඩ්ඩක් බලන්න.
මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවලට සතුන් බෝ කරනවා. මස්, කිරි, බිත්තර, බෙහෙත්, පර්යේෂණ... කවුද කොහේද ජීවත් වෙන්නේ, කවුද පැටව් බිහිකරන්නේ, කවදාද මරණයට යන්නේ කියලා වෙනත් ජීවීන් වෙනුවෙන් තීරණ ගන්නවා. ඒ සතුන්ටත් වේදනාව දැනෙනවා. බය දැනෙනවා. තමන්ගේ පැටව් වෙනුවෙන් කලබල වෙනවා. සමහරු එකිනෙකා හඳුනනවා, බැඳීම් හදාගන්නවා.
ඔයාගේ ශිෂ්ටාචාරය ඒ හැඟීම් නැහැ කියලා කියන්නේ නෑ. ඒත් බොහෝ වෙලාවට මිනිස්සුන්ගේ අවශ්‍යතාව ඊට වඩා වැදගත් කියලා තීරණය කරනවා. ඒතාරිලාත් මිනිස්සු ගැන ගත්තේ ඒ වගේ තීරණයක්.
“අපි එයාලව හැදුවා. එයාලා අපි නෙවෙයි. එයාලගේ ශරීර අපේ අයට ජීවත් වෙන්න උදව් වෙනවා.”
ඒක එයාලගේ සාධාරණීකරණය.
මේ පාර වෙනස තියෙන්නේ, ගොවිපොළේ වැට ඇතුළේ ඉන්නේ ඔයා වීම.
දෙවියන්ගේ ගිණුම් හොඳට බැලන්ස් වුණා
අවුරුදු ගෙවුණා. ගම් ලොකු වුණා. නගර හැදුණා. දෙවොල්වල පඬුරු එකතු වුණා. රජවරු පත් වුණා. පූජකයෝ අලුත් පරම්පරාවට කතා ඉගැන්නුවා. මිනිස්සු තමන්ගේ දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරමින් ජීවත් වුණා. ඇතුළේ ඉන්න මිනිස්සුන්ට ඒක තමන්ගේ ශිෂ්ටාචාරයේ ඉතිහාසය. වේල් එකේ තිරවල පෙනුණේ වෙනස් කතාවක්.
ජනගහනය. උපත්. මරණ. සෞඛ්‍ය තත්ත්වය. රත්තරන්. පඬුරු. ජීව විද්‍යාත්මක සැපයුම. AEVUM කස්ටමර්ලාගේ ඊළඟ රීනිව් දිනය.
රත්තරන් තවමත් එනවා. පරණ බිස්නස් එක නතර වෙලා නෑ. හැබැයි ලාභම අනාගතේ දැන් තිබුණේ පතල් ඇතුළේ නෙවෙයි. ගෙවල් ඇතුළේ. පවුල් ඇතුළේ. අලුතෙන් ඉපදෙන දරුවන් තුළ. කෙනෙක් අස්වැන්නට දෙවියන්ට ස්තුති කළා. තවත් කෙනෙක් තමන් ආදරේ කරන කෙනා එක්ක සදහටම ඉන්න ප්‍රාර්ථනා කළා. අම්මා කෙනෙක් දරුවාට ආශීර්වාද ඉල්ලුවා. ඒ හැම කතාවක්ම ඒ මිනිස්සුන්ගේ ඇත්ත ජීවිතය. ඒත් ඒ ජීවිතවලට ඉහළින්, වෙනත් ශිෂ්ටාචාරයක කම්පැනියක් ඊළඟ අවුරුද්දේ සැපයුම ගණන් කරමින් හිටියා.
මිනිස්සු තමන්ගේ දෙවියන්ට වැඳ වැටුණා. දෙවියන්ගේ නමින් වේල් එක තමන්ගේ ජීව විද්‍යාත්මක ගොවිපොළ පාලනය කළා.
ඉතින් පෘථිවි යාළුවා, තව එක දර්ශනයක් මතක තියාගන්න. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා දේවාලෙට අරගෙන එනවා. එයාට ඒ දරුවා ජීවිතේ. පූජකයාට ඒ උපත ආශීර්වාදයක්.
වේල් ෆවුන්ඩේෂන් එකට? අනාගත සැපයුමක්.
ඊළඟ ඉතිහාස කතාව:
Paradise, Incorporated — අමරණීය ජීවිතේ මුළු විශ්වයක් මිලට ගත්ත හැටි
AEVUM ඕන හැම ඒතාරි බලවතෙක්ම දැන් වේල් එකෙන් ලැබෙන ප්‍රතිකාරය ගැන හිතනවා. එයාලගේ ආණ්ඩු, ආගමික පවුල්, කම්පැනි, පාතාල ලොක්කෝ හැමෝම තමන්ගේ බලය රැකගන්න ඕන. හැබැයි ජීවත් වෙන්න තව අවුරුදු දාහක් ගන්න නම් වේල් එකත් එක්ක ගනුදෙනු කරන්න වෙයි. එතකොට මුළු විශ්වයේ බලයට මොකද වෙන්නේ?
නැත්නම් කතාවෙන් එහාට ගිහින් ප්‍රශ්න පහක් අහමු
01. අහසින් ආපු දෙවිවරු: පුරාණ කතා ඇත්තටම කියන්නේ මොනවද?
දෙවියන්ගේ පැමිණීම, ආශීර්වාද සහ අහසින් ලැබුණු නීති ගැන පැරණි සම්ප්‍රදායන් මොනවද කියන්නේ? ඒ ඉතිහාස කතායි සෝල් කියන නෝටී යුනිවර්ස් කතාවයි අතර වෙනස හොයමු.
02. දෙවොලේ පඬුරු පෙට්ටියට අමතරව ගිණුම් පොතකුත් තිබුණාද?
ලංකාවේ මිහින්තලේ පැරණි සෙල්ලිපිවල ආගමික ආයතනවල පරිපාලනය, ගෙවීම් සහ ගණන් ගැන තියෙන සාක්ෂි මොනවද? වේල් එකේ කල්පිත දෙවොල් ජාලයත් එක්ක සසඳලා බලමු.
03. ආදරේ, රාගය, දරුවෝ: මිනිස්සුන්ගේ හැඟීම් කම්පැනියකට වටිනවද?
ආකර්ෂණය, ආදරේ, ඉරිසියාව, දරු සෙනෙහස සහ පවුල් බැඳීම් ජනගහනයක් ඉදිරියට ගෙනියන්න උදව් වෙන්නේ කොහොමද? ඒ හැඟීම් ඇත්ත වුණත් සමාජයක් ඒවායේ ප්‍රතිඵල පාලනය කරන්න උත්සාහ කළොත්?
04. දෙවියෝ හැමදේම බලාගෙන ඉන්නවා කියලා හිතනකොට මිනිස්සු වෙනස් වෙනවද?
දඬුවම, ආශීර්වාදය, නායකත්වය සහ නොපෙනෙන නිරීක්ෂණය ගැන මිනිස්සුන්ගේ විශ්වාස හැසිරීම වෙනස් කරන්නේ කොහොමද? වේල් එක ඒ අදහස තමන්ගේ නීතිවලට යොදාගත්තේ ඇයි?
05. ගොවිපොළේ වැටේ අනිත් පැත්තේ ඔයා හිටියා නම්?
මිනිස්සු ආහාර සහ පර්යේෂණ වෙනුවෙන් සතුන්ට කරන දේ ගැන, ඒ සතුන්ගේ වේදනාව ගැන, සහ ඒතාරිලා මිනිස්සුන්ව තමන්ගේ අවශ්‍යතාවයට පාවිච්චි කළ විදිහ ගැන අපහසු ප්‍රශ්න ටිකක් අහමු.
දැන් ඉතින් ඔයා මගේ කතාව විශ්වාස කරනවද නැද්ද කියලා තීරණය කරන එක ඔයාගේ වැඩක්. හැබැයි ඔයා අදහන නීතියක්, පිළිපදින චාරිත්‍රයක්, හදන පවුලක් ගැන හිතද්දී පොඩි ප්‍රශ්නයක් අමතක කරන්න එපා.
ඒක ඔයාගේ ජීවිතේට අර්ථයක් දෙන දෙයක්ද? නැත්නම් ඒ අර්ථයට පිටිපස්සෙන් වෙන කෙනෙක් ගණන් හදනවද?

