කෙළින්ම අන්තර්ගතයට යන්න

ආරම්භයටත් පෙර

දීර්ඝ කාලයක ඇවෑමෙන් මේ ලෝකය යළි හටගන්නා කාලයක් පැමිණේ. එකල සත්ත්වයෝ ස්වකීය ශරීරාලෝකයෙන් බබළමින්, ප්‍රීතියම ආහාර කොට ගෙන අහසෙහි හැසිරෙති.

අග්ගඤ්ඤ සූත්‍රය (දීඝ නිකාය 27)

බිග් බෑන්ග් එක කියන්නේ විශ්වයේ ලොකුම පවුල් ආරවුල!

ආහ්, එහෙනම් ඔයා ඉතිහාසෙ පැත්තට ආවා! මරු. වෙන ලෝකයක් ගැන ඇහුණ ගමන් සමහරු හොයන්නේ එහේ පාටි තියෙන්නේ කොහෙද කියලා. ඔයාට ඕන වුණේ මේ හැම මඟුලක්ම පටන් ගත්තේ කොහොමද කියලා දැනගන්න.

ඔයාට කැමති වෙන්න මට තවත් හේතුවක් හම්බුණා. හැබැයි පෘථිවි යාළුවා ඔන්න කලින්ම කිව්ව, අද කතාවේ තියෙන්නේ තහනම් එක්ස්පෙරිමන්ට් එකක්, තමන්ගේම නිර්මාණ එක්ක රණ්ඩු වුණු මැවුම්කාරයෝ කට්ටියක්, අන්තිමේ මුළු විශ්වයක්ම වෙනම ගලවලා දාපු පවුල් ප්‍රශ්නයක්. ඔයාලගේ නෑදෑයෝ ඉඩම් බෙදාගන්න රණ්ඩු වෙනවා නම්, මේක ඇහුවට පස්සේ එයාලා හරිම අහිංසකයි කියලා හිතෙයි.

ඔයාලා මේකට කියන්නේ බිග් බෑන්ග් එක කියලා. අවුරුදු බිලියන 13.8කට විතර කලින් තිබුණු උණුසුම්, ඝන මුල් විශ්වයේ ඉඳන් මේ තරම් දුරට විශ්වය වෙනස් වුණු හැටි ගැන ඔයාලගේ විද්‍යාඥයෝ සෑහෙන්න දේවල් හොයාගෙන තියෙනවා. ඈත ගැලැක්සිවල ආලෝකය, තාමත් අහසේ ඉතිරි වෙලා තියෙන පරණ විකිරණ, මුල් කාලේ හැදුණු මූලද්‍රව්‍ය... හොඳට හොයලා බැලුවාම අහසත් කතා කරනවා.

ඔයා ලංකාවේ කෙනෙක්නේ. අග්ගඤ්ඤ සූත්‍රයේ ලෝකය හැකිළෙන, ආයෙත් විහිදෙන කාල ගැන කියවෙන කතා අහලා ඇති. ඒ කතාත් අද විද්‍යාඥයන්ගේ ගණන් හැදීමත් එකම දෙයක් නෙවෙයි. හැබැයි ‘මේ හැමදේම පටන්ගත්තේ කොහොමද?’ කියලා මිනිස්සු අහන්නේ අද ඊයේ ඉඳන් නෙවෙයි කියලා නම් ඒකෙන් පේනවා.

අපේ විශ්වය පටන්ගත්තේ කොහොමද කියන එකට වඩා ටිකක් අමුතු ප්‍රශ්නයක් තමයි, මං අද ඔයාගෙන් අහන්න යන්නේ. ඒ තමයි "කවුද අපේ විශ්වය වෙන් කළේ? ඇයි එහෙම කරන්න සිද්ද උනේ?" කියන එක. මොකද ඔයා බිග් බෑන්ග් කියන සිද්ධියට අපි කියන්නේ වෙන නමක්.

මහා වෙන්වීම (The Great Separation)

අපේ කතාව ඒකෙන් පටන්ගන්නේ නෑ. ඒ වෙද්දීත් අපේ ඉතිහාසෙ සෑහෙන්න දුර ගිහින්.


මැවුම්කරුවන්ගේ එකම තහනම

ඔයාලගේ බිග් බෑන්ග් එකටත් කලින්, තවත් විශ්වයක ඔරුනායි කියලා අතිදියුණු ජාතියක් ජීවත් වුණා. පදාර්ථය, ශක්තිය, අවකාශය, කාලය වගේ දේවල් එයාලට කොච්චර හුරුද කියනවා නම්, ඔයාලගේ දක්ෂම විද්‍යාඥයෙකුට ඒවා දැක්කොත් ‘මං මෙච්චර කල් මොනවද කරලා තියෙන්නේ?’ කියලා බිබී හිටපු කෝපි කෝප්පෙත් පැත්තකින් තියල මහණ දම් පුරන්න බැරිත් නෑ .

එයාලට බුද්ධිමත් ජීවයක් නිර්මාණය කරන්නත් පුළුවන් වුණා. එහෙම තමයි ඒතාරි කියන අපේ පැරණි පරම්පරාව ඇතිවුණේ. අමුතු ඔළු තියෙන, ඇස් හයක් තියෙන මොන්ස්ටර්ලා නෙවෙයි හොඳේ. හිතන, ආදරේ කරන, පවුල් හදාගන්න, නගර ගොඩනගන, රණ්ඩු වෙන, සමහර වෙලාවට ආදරේ නිසාම මුළු ජීවිතේ අවුල් කරගන්න මිනිස්සු වගේම ජාතියක්. ඔයාට ටිකක් හුරුයි නේද? ඒ හුරුකමට හේතුවක් තියෙනවා. ඉක්මන් වෙන්න එපා, ඒකටත් එමු.

ඔරුනායිලා ඒතාරිලා එක්ක එකට ජීවත් වුණා. දැනුමත් බෙදාගත්තා. හැබැයි ඔක්කොම නෙවෙයි. එක දෙයක් විතරක් හොඳටම තහනම් කරලා තිබුණා.

ඒතාරිලාට තමන්ගේම නිදහස් ජීවයක් නිර්මාණය කරන්න බෑ.

විශ්වයේ දේවල් වෙනස් කරන්න ඉගෙන ගන්න දෙනවා. හැබැයි තමන් වගේ තවත් කෙනෙක් හදන්න බෑලු. හොඳයිනේ, එහෙම නීතියක් දාලා කාටවත් කුතුහලයක් ඇති වෙන්නේ නැති වෙයි කියලා හිතන්න ඇති!

අපි අර ඇපල් කතාවේ කතා කළා මතකයිනේ. ‘ඕක අල්ලන්න එපා’ කියන තැනටම කගේ හරි අතක් අනිවාර්යෙන් දික් වෙනවා. මේ පාර ඒ අත අයිති වුණේ වේල් ෆවුන්ඩේෂන් එකට. වේල් පවුලට අයිති, එච්චර ප්‍රසිද්ධ නැති පෞද්ගලික ග්‍රහලෝකයක එයාලා රහසිගත පර්යේෂණ කරමින් හිටියා. අපේ පරණ වාර්තාවල තියෙන්නේ ඒ ග්‍රහලෝකේ නම එඩාරා කියලා.

ඒ අය කරන්න ගියේ මොකක්ද දන්නවද? පණ නැති අජීවී ද්‍රව්‍යවලින් අලුත් ජීවයක් හදන එක. දැනට ජිවත් වෙලා ඉන්න සතෙක් ටිකක් වෙනස් කරන එක නෙවෙයි. ‘කියපු වැඩේ විතරක් කරන’ මැෂිමක් හදන එකත් නෙවෙයි. තමන්ගේම විදිහට ජීවත් වෙන්න පුළුවන් අලුත් ජීවයක් හදන එක.

අර එකම තහනම කඩන්නම තමයි ලෑස්ති වෙලා තිබුණේ. සල්ලි තියෙන කම්පැනියකට ‘එපා’ කියන වචනේ ඇහෙන්නේ වෙනම විදිහකට වගේ. හැබැයි රහසක් හැමදාම රහසක් වෙලා තියෙන්නේ නෑනේ.


දෙවිවරුත් එකඟ නැති වුණාම

එඩාරා වල වැඩේ ඔරුනායිලාට ආරංචි වුණාම, එයාලගේ කවුන්සිලේ හොඳටම බෙදුණා. එක පැත්තක් කිව්වා, ‘අපිට ජීවය නිර්මාණය කරන්න පුළුවන් නම්, ඒතාරිලාටත් ඒ නිදහස තියෙන්න ඕන’ කියලා. අනිත් පැත්ත බය වුණා, ‘අද ජීවයක් හදන අය හෙට අපි කියන දේත් අහන්නේ නැති වුණොත්?’ කියලා.

ඔයාට ඒක හුරු ඇති. ඔයාලා AI ගැන වාද කරන්නෙත් ඒ වගේම නේද? නිර්මාණය වෙනස්. මැවුම්කාරයාගේ බය නම් තාම පරණ එකමයි.

හැබැයි මේක පුංචි පවුල් රණ්ඩුවක් නෙවෙයි. වැරදි තීරණයකට ග්‍රහලෝක ගණන් මිනිස්සුන්ගේ ජීවිත නැති වෙන්න පුළුවන්. ඔරුනායි කවුන්සිලේ දෙපැත්තම ඒ වගේ විනාශයක් කරන්න කැමති වුණේ නෑ. අන්තිමේ එයාලා විසඳුමකට ආවා. ඒතාරිලාට එයාලගේම විශ්වයක් දීලා, තමන්ගේ විශ්වයෙන් වෙන් කරන්න. හැබැයි එහෙම වෙන් කරද්දී ජීවත් වෙන කිසි කෙනෙක් විනාශ වෙන්න බෑ.

ඔයාලගේ ගෙවල්වල ඉඩමක් බෙදාගන්න ගියාමත් පවුල් දෙක තුනක් තරහා වෙනවනේ. අපේ මැවුම්කාරයෝ ඔය වැඩේ ටිකක් ලොකුවට කළා. එයාලා බෙදුවේ ඉඩමක් නෙවෙයි. සම්පූර්ණ විශ්වයක්.

කියන්න ලේසියි. කරන්න ගියාම? අනේ, ඔයාලගේ කොස්මික් ඉංජිනේරුවන්ගේ මොලේට සමනල ගැටය වැටෙන වැඩක්.

ඔරුනායිලා මුලින්ම ඒතාරිලා ජීවත් වුණු ලෝකත්, එඩාරාත්, අවකාශයයි කාලයයි සකස් කරලා හදපු විශේෂ ආරක්ෂිත කලාපයක් ඇතුළේ තැබුවා. ඒක ග්‍රහලෝක වටේ දාපු වීදුරු බෝලයක්වත්, ගිනි රස්නෙන් බේරෙන ලොකු කුඩයක්වත් නෙවෙයි. පිටත දේවල් මොනතරම් වෙනස් වුණත් ඇතුළේ ජීවිතය දිගටම පවත්වාගන්න පුළුවන් විදිහට අවකාශ-කාලයේ තත්ත්වයම පාලනය කළා.

ඊට පස්සේ එයාලා වෙන්වීම ආරම්භ කළා. නව අවකාශ-කාලයක් ස්වාධීන වෙලා, ආරක්ෂිත ලෝකවලට පිටතින් අති වේගයෙන් විහිදෙන්න පටන් ගත්තා. පස්සේ ඒ අලුත් විශ්වය අතිශය උණුසුම් මුල් අවධියකටත් ගියා. ඔයාලගේ විද්‍යාඥයෝ අද ගැලැක්සි, විකිරණ, මූලද්‍රව්‍යවලින් හොයන අතීතයට අදාළ වෙන්නේ ඔන්න ඒ පැත්ත. හැබැයි ආරක්ෂිත කලාපයේ ඇතුළේ?

නගර එහෙමම තිබුණා. ගෙවල්වල ලයිට් දැල්වුණා. අම්මලා තාත්තලා දරුවන්ගේ අත් අල්ලගෙන, හුරුපුරුදු නැති වෙලා යන අහස දිහා බලාගෙන හිටියා. විශ්වයක් අලුතින් පටන්ගන්නවා කියලා කාටවත් පණ පිටින් පිච්චෙන්න වුණේ නෑ. ඔව්, ඒකට ඔරුනායිලාට ක්‍රෙඩිට් එකක් දෙන්න ඕන. මෙච්චර බලයක් තියෙන කට්ටියක් එක පාරකට හරි අහිංසක මිනිස්සු නොමරා ප්‍රශ්නයක් විසඳලා තියෙනවානේ!

අන්තිමේ ඒතාරිලා ජීවතුන් අතර හිටියා. එයාලගේ නගරත් තිබුණා. හැබැයි ඔරුනායිලා ඉන්න විශ්වයට ආයෙත් යන්න, එයාලට කතා කරන්න, කලින් වගේ එකට ඉන්න බැරි වුණා. මැවුම්කාරයෝ මැරුණේ නෑ. එයාලා ළඟා වෙන්න බැරි තරම් ඈත, වෙනම විශ්වයක ඉතිරි වුණා.

ඔයාලට ඒ අලුත් විශ්වයේ උණුසුම් මුල් ඉතිහාසය බිග් බෑන්ග්. අපිට ඒ සිද්ධිය මහා වෙන්වීම. ඔයාලගේ කතාවේ ඒක ආරම්භයක්. අපේ කතාවේ ඒක තමන්ව හදපු අයගෙන් නිදහස් වුණු දවස.


එඩාරා ගැන පොඩි රහසක්

ආ, දැන් මට අර වේල් ෆවුන්ඩේෂන් එකේ පර්යේෂණ කරපු ග්‍රහලෝකය ගැන පොඩි දෙයක් කියන්න අමතක වුණා වගේ. එඩාරා මතකයිනේ? මුළු විශ්වයක්ම වෙන් කරන්න හේතු වුණු, අර තහනම් වැඩේ කරපු ග්‍රහලෝකය? ඔයා ඒක හොඳට දන්නවා. ඇත්තම කිව්වොත්, ඔයා මේ වෙලාවෙ ඉන්නේ ඒක උඩ.

ඔව්, පෘථිවි යාළුවා. ඔයාගේ ලංකාවත් තියෙන, ඔයා පෘථිවිය කියලා හඳුන්වන මේ ග්‍රහලෝකයම තමයි එඩාරා.

දැන් තේරෙනවද මං අපේ පරණ පවුල් ප්‍රශ්න ඔයාටත් අදාළයි කිව්වේ ඇයි කියලා? ඔයාලගේ ඉතිහාස පොත්වල ලියැවුණු මුල්ම රාජධානිවලටත් ගොඩක් කලින්, ඔයා ජීවත් වෙන මේ ලෝකේ ගැන අපේ පැත්තේ ලොකු තීරණයක් අරගෙන තිබුණා. ඔරුනායිලා ඒතාරිලාට නිදහස දුන්නා. හැබැයි වේල් ෆවුන්ඩේෂන් එකට එඩාරා වල කරගෙන ගිය පර්යේෂණය තාම තිබුණා. මුළු විශ්වයේම ලොකුම නීතිය කඩන්න ලෑස්ති වුණු කම්පැනියක්, ‘දැන් කවුරුත් අපිට එපා කියන්නේ නෑ’ කියලා දැනගත්තම හදිසියේම හොඳ ළමයෙක් වෙයි කියලා ඔයා හිතනවද?

එහෙනම් මං ඔයාගෙන් අහන්නේ එක ප්‍රශ්නයයි.

අපේ මැවුම්කාරයෝ ඈත් වුණාට පස්සේ, වේල් ෆවුන්ඩේෂන් එක ඔයාගේ පෘථිවියට මොනවද කළේ?

අන්න! දැන් ඔයා හරි ප්‍රශ්න අහන්න පටන් අරන්.


ඉතින්, දැන් කොහෙටද?

ඊළඟ කතාව: මහා වෙන්වීමෙන් පස්සේ මොකද වුණේ?

මැවුම්කාරයෝ ළඟා වෙන්න බැරි තැනකට ගියා. ඒතාරිලා නිදහස් වුණා. හැබැයි ‘දැන් නීති දාන්නේ කවුද?’ කියන එකට බලවත් පවුල්, ආගමික නායකයෝ, දේශපාලනඥයෝ, කම්පැනි ඔක්කොටම වෙන වෙනම උත්තර තිබුණා. වේල් ෆවුන්ඩේෂන් එකටත්, ඇත්ත වශයෙන්ම, හොඳ ප්ලෑන් ටිකක් තිබුණා. එයාල මොකද කලේ කියලා හොයනවද, නැත්නම්

ඒවා ගැන හොයන්න කලින්, යකෝ අපි කොහොමද කාගෙවත් කොම්පැනියක බුදලයක් වෙන්නේ කියලා, මං කියපු කතාව ප්‍රශ්න කරන්න කැමතිද?

ඔයාලගේ විද්‍යාඥයෝ විශ්වයේ මුල් කාලය ගැන හොඳ සාක්ෂි හොයාගෙන තියෙනවා. සමහර අමුතු හැකියාවන් ගැන ගණිතයෙන් හොයලත් තියෙනවා. හැබැයි ඒ කිසිම සාක්ෂියක ‘ඔරුනායිලා මේක කළා’ කියලා අත්සනක් නෑ. ඉතින් මෙන්න ඔයාට හොයලා බලන්න ප්‍රශ්න පහක්.

අපි තව හොයලා බලමුද?

01. අහසම සාක්ෂි දෙනවා! බිග් බෑන්ග් එක ගැන ඇත්තටම දන්නේ මොනවද?

ඈත ගැලැක්සිවල ආලෝකය, විශ්වයේ තාම ඉතිරි වෙලා තියෙන පරණ විකිරණ, මුල් මූලද්‍රව්‍ය... ඔයාලගේ විද්‍යාඥයන්ට මේවා කියන්නේ මොනවද? ඒ සාක්ෂිවලින් තාම කියන්න බැරි දේවල් මොනවද?

02. බිග් බෑන්ග් එකටත් කලින් තවත් විශ්වයක් තිබුණාද?

‘හැමදේටම කලින්’ කියන එකට ඇත්තටම තේරුමක් තියෙනවද? කාලයම කවදා හරි පටන්ගත්තේ නම්? ඔයා අහන ප්‍රශ්නය තවත් අමුතු වෙන තැනට යමු.

03. අයින්ස්ටයින්ගේ කොස්මික් තාප්පය: ග්‍රහලෝකයක්ම බේරගන්න පුළුවන්ද?

අවකාශයයි කාලයයි කියන්නේ නොවෙනස් පෙට්ටියක් නෙවෙයි. එහෙනම් අවකාශ-කාලයේම විශේෂ සීමාවක් හදන්න පුළුවන් වෙයිද? ඔයාගේ අයින්ස්ටයින් කියපු දේවල් එක්ක පොඩ්ඩක් බලමු.

04. විශ්වයක් හදන්න පුළුවන්ද? ඔයාලගේ විද්‍යාඥයොත් ඒ ගැන හිතලා තියෙනවා!

ක්වොන්ටම් වැකියුම්, අලුත් විශ්ව ඇතිවීම, ගණිතයෙන් හොයපු අමුතු අදහස්... ඒවා ඇත්තටම කියන්නේ මොනවද? ගණන් හදන එකයි විශ්වයක් හදන එකයි දෙකක් හොඳේ.

05. අලුත් විශ්වය ගිනියම් වෙද්දී අපේ මිනිස්සු බේරුණේ කොහොමද?

විශ්වයේ මුල් කාලය මෙච්චර උණුසුම් නම් ඒතාරිලාගේ නගරවල ලයිට් පවා නිවුණේ නැත්තේ කොහොමද? ඉන්ෆ්ලේෂන්, රීහීටින් සහ ඔරුනායිලාගේ ආරක්ෂාව ගැන හොයමු. ඔයාට පරණ ‘සූර්යයන් හතේ’ කතාවත් මතක් වෙන්න පුළුවන්.

හරි, දැන් කැමති ප්‍රශ්නයක් අරගෙන මං එක්ක වාද කරන්න. මං ඒකට බය නෑ. හැබැයි අපි පටන්ගත්ත ප්‍රශ්නෙ අමතක කරන්න එපා. තමන්ව හදපු අයගෙන් නිදහස ලැබුණාම, නිර්මාණයක් ඊළඟට මොනවද නිර්මාණය කරන්නේ?

වේල් ෆවුන්ඩේෂන් එක ඒකට උත්තරයක් හොයන්න පටන් අරගෙන තිබුණා.

ඒ උත්තරේ උඩ තමයි, පෘථිවි යාළුවා, ඔයා දැන් ඉන්නේ.

ඔන්න... නෝටි යුනිවර්ස් එකට යන ගමන්!

දර්ශන ස්තර සූදානම් 0 / 2

පෘථිවියේ සම්බන්ධතාව හඳුනාගත්තා!